දින කීපයක් තිස්සේ කුසගින්නේ සිට එය දරාගත නොහැකිව දරුවන් දෙදෙනකු සහ දැරියක පොතුවිල් පොලීසියට පැමිණ කෑමට යමක් ඉල්ලූ දුක්බර පුවතක් පොතුවිල් පොලිසියෙන් වාර්තා වෙයි.

 ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත කුමාරසිහ මහතා මෙම දරුවන්ට ආහාර ලබාදීමට කටයුතු කළේය.
  මෙම දරුවන් පිළිබඳව පොලීසිය කරුණු සොයා බැලීමේ දී මෙම දරුවන් තිදෙනාගේ පියා විදේශගතව ඇති අතර මව මෙම දරුවන්ට නොසලකන බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.

වෙනත් පුද්ගලයෙක් තම මවට ආහාර ගෙනත් දෙන බවත් තමන්ට එම ආහාර ලබා නොදෙන බවත් මෙම දරුවන් තිදෙනා පොලිසියට පවසා තිබේ.
ඉකුත් 5 වැනි දින ආහාර ගැනීමෙන් පසු පොලිසියට පැමිණෙන තුරු කිසිම  ආහාරයක් මෙම දරුවන් ලබාගෙන නැති  අතර, පොලිස් නිලධාරින් විසින් මෙම  දරුවන්ට කඩිනමින් ආහාර ලබාදී ඇත.

මෙම දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු පිරිමි දරුවන් වන අතර ඔහු වයස අවුරුදු 14 සහ 13 වියහි පසුවෙති. ගැහැනු  දරුවාගේ වයස අවුරුදු 07 කි.  පසුව පොතුවිල් පොලීසිය මගින් මෙම  දරුවන් ගේ මව අත්අඩංගුවට ගෙන දරු තිදෙනා සමග පොතුවිල් මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කළ අතර, පොතුවිල් මහේස්ත්‍රාත් මොහොමඩ් රාපී මහතා විසින් දරුවන්ගේ මව මෙම මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. දරුවන් තිදෙනා ළමා ආරක්ෂණ අධිකාරියේ රැකවරණය යටත් ඔවුන් ගේ මාමාට භාරදී තිබේ. මම මස 12 වැනි දින මෙම දරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග  කළේය.

-අම්පාර වසන්ත චන්ද්‍රපාල-