පොලිස් නිලධාරීන්ට පහර දීම, මිරිස් කුඩු ගැසීම සහ පොදු දේපොළවලට හානි කිරීම ඇතුළු සිදුවීම් ගණනාවක් ඇති වූ පාර්ලිමේන්තුවේ කළහකරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කතානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් හොර ලිපියක් සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙනම විමර්ශනයක් පවත්වමින් සිටී.

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කමිටුව ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීම මේ දිනවල සිදුකරන බවද නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

එම කමිටුවේ සාමාජිකයින් දෙදෙනා බැඟින් සී.සී.ටී.වී. කැමරා දර්ශන වෙන වෙනම අධ්‍යයනය කරන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් හෙට(18) අදාළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමට නියමිතයි.

එමෙන්ම අදාළ කලහකාරී සිද්ධීන්ට සම්බන්ධ කැමරා දර්ශන පෞද්ගලික මාධ්‍ය ආයතන මඟින් ලබා ගැනීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

මාධ්‍ය ආයතන මඟින් ලබා ගන්නා එම දර්ශන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

පසුගිය 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබුවේය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සභාපතීත්වය දරන එම කමිටුවේ චමල් රාජපක්ෂ, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා, චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් සෙසු සාමාජිකයින් බව වාර්තා වෙයි.