https://www.gossiplankanews.com/2018/12/beruwala-weapon-house.html
බේරුවල - පත්තේකඩේ ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට අයත් සුවිල් දෙමහල් නිවසක් තුළ සඟවා තිබූ පාකිස්තානයේ නිෂ්පාදිත ප්‍රභූ ආරක්ෂක ස්වයංක්‍රිය ගිනි අවියක් ඇතුළු ගිනි අවි දහතුනක් හා උණ්ඩ තොගයක් සමඟ එම මැණික් ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයකු ඊයේ (09දා) මතුගම
කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මිලිමීටර් දශම දෙකයි දෙක වර්ගයේ ගිනි අවි දෙකක්, පාකිස්තානයේ නිෂ්පාදිත ස්වයංක්‍රිය ගිනි අවියක්, බෝර දොළහ වර්ගයේ ගිනි අවි දහයක්, මිලිමීටර් දෙකයි දශම දෙක වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ එක් දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් හා මිලිමීටර් දශම දෙකයි දෙක වර්ගයේ ජීව උණ්ඩ, ගිනි අවි කොටස් රැසක්, කෙටේර්යක්, මන්නා පිහි තුනක්, ඉලක්කයට වෙඩි තැබීමට භාවිත කරන උපකරණ කිහිපයක්, හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් විස්සක් මෙහිදී පොලිසිය භාරයට ගෙන ඇත.


කිසියම් පුද්ගලයන් දෙදෙනකු ගෝනකු වෙඩි තබා මරා සුබෝපභෝගී මෝටර් රියකින් රැගෙන එන බවට මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ පොලීස් කොස්තාපල් ගුණවර්ධන (44817) මහතාට ලැබුණු තොරතුරක් අනුව බදුරලීය - ලත්පඳුර ප්‍රදේශයේදී එම මෝටර් රථය හා පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී මෝටර් රථයේ ඩිකිය තුළ සඟවා ගෙන පැමිණි මරා දමන ලද ගෝනාගේ සිරුර හා ගෝනා මැරීමට උපයෝගි කරගත් බෝර දොළහ වර්ගයේ ගිනි අවිය ජීව උණ්ඩ හා හිස් පතරොම් කිහිපයක් සොයා ගෙන තිබිණි.

එම පුද්ගලයන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එක් අයකු බේරුවල පත්තේකඩේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු බැව් අනාවරණය වූ අතර අනෙක් තැනැත්තා ඔහුගේ මිතුරකු බවට අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරීකයාගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ දෙමහල් නිවෙසේ තවත් ගිනි අවි තිබෙන බැව් හෙළි වීමෙන් පසු එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ වැටලීමේදී මැණික්  ව්‍යාපාරිකයාගේ කාමරයේ මෙන්ම නිවෙසේ ස්ථානයට කිහිපයකම සඟවා තිබූ ගිනි අවි හා අනෙකුත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවී තිබේ. සැකකාර මැණික්

ව්‍යාපාරිකයා ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුරුදු පුහුණු වී ඇති අයකු බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී කරුණු හෙළි වී ඇත.

මොහොමඩ් ජවුෆර් අබ්දුල් නාසීර් නමැති 40 හැවිරිදි  මැණික් ව්‍යාපාරිකයකු වූ සැකකරු මෙම ගිනි අවි පාතාල කණ්ඩායම් අතට පත් කළාද යන්න හා මොහුට ගිහි අවී ලැබුණු ආකාරය පිළිබඳව මතුගම අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඊයේ (09) සවස මතුගම පොලිස් අධිකාරී කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ගිනිඅවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව තොරතුරු අනාවරණය කෙරූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා,

"මැණික් ව්‍යාපාරිකයකු බව කියන ප්‍රධාන සැකකරු අවුරුදු 40ක පමණ අයකු වන අතර දෙවැනි සැකකරු රථයේ රියැදුරු බවත් සැකකරුවන් මෙම ආයුධ කෙසේ ලබා ගත්තා ද ඒවා කුමන කාරණා සඳහා භාවිත කළාද යන ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් සැකකරුවන් දෙදෙනා අද (10දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරීපත් කර ප්‍රධාන සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

-එම්.සී.පෙරේරා-