https://www.gossiplankanews.com/2018/12/7-final-decition.html
නපති මෛත්‍රිපාල සිරිසේන හා එජා පෙරමුණේ සාමාජිකයින් අතර අද (3) රාත්‍රී පැවති සාකච්ඡා අසාර්ථක වූයේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව කිසිසේත් තමා පත් නොකරන බවට ඇතිවූ වාදයෙන් පසුය. 122 නෙමෙයි 225ම කිව්වත් මට ඒක කරන්න බෑ යයි ජනපතිවරයා දන්වා ඇත.
මේ අතර මෙම සාකච්ඡාවට පෙර අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ පණිවිඩයක්ද මාධ්‍ය වෙත යොමු කර තිබූ අතර එහි
සටහන් වූයේ අධිකරණ තීරණයට තමා එකඟ නැති බවත් හෙටම අභියාචනයක් ඉදිරිපත්කරන බවත්ය. මේ අතරවාරයේ හිටපු ආණ්ඩු පක්ෂ කන්ඩායමේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. එයට එක්වූ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගෙන් මාධ්‍ය විමසා තිබුනේ නැවත එජාපයෙන් අගමැති කෙනෙක් පත්කරාවිද යනුවෙනි.

එයට සුසිල් දුන් උත්තරය තුළ ජනපති ඊට පැය කිහිපයකට පසු ලබාදෙන උත්තරය සැඟවී තිබිණි.

ඔහු කියා සිටියේ හිටපු අගමැති මහින්ද සමග ජනපති සාකච්ඡා කළ බවත් මහින්දගේ ලිපිය ලියැවුනේ එම සාකච්ඡාවෙන් අනතුරුව බවත්ය.ජනපති තුමා නීති උපදෙසුත් අරගෙන තින්දුවක් දේවි යයි සුසිල් කියා සිටියේය. අද දහවල් මෛත්‍රි හා බැසිල් අතර පැවති විශේෂ සාකච්ඡාවටද මෙම කාරණා පදනම් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

 ඒ අනුව රනිල් නොව කිසිවෙකු නම් කරත් එජාපයට යළි අගමැති ධූරයක් ලබා නොදී ඊළඟ අධිකරණ තීන්දුව 7 වනදා ලැබෙනතුරු තීරණ පමාකරන්නට ජනපති ඉටාගෙන තිබෙන බව අනුමාන කළ හැකිය.
4 වනදා ඇරඹෙන ජනපති පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි ශ්‍රෙෂ්ඨාධිකරණ විභාගය ඇරඹෙන්නට පෙර ජනපති විසින් එය ඉවත්කරගැනීමේ ආරංචිය විදෙස් මාධ්‍ය තුළද පසුගිය දිනවල ප්‍රචාරය වූ නමුත් මෙම අදහස පසුව ජනපති වෙනස් කරගෙන තිබෙන බව අද දින එජා පෙරමුණ සමග සාකච්ඡාවේදී ඔහු පවසා ඇත.


එයට බලපා ඇත්තේ ජනපතිවරයා එය ඉවත් කරගත්තත් නැතත් එම ගැසට්ටුව දැනටම පිටවී ඇති නිසා එය අභියෝගයට ලක්කිරීමේ හැකියාව සමානව තිබෙන බවට නීති උපදෙස් ලැබී ඇති නිසා යයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මේ අතර අද එජා පෙරමුණේ සාකච්ඡාවේදී ජනපති තමා නම් කරන අගමැති සහ ඇමති මණ්ඩලයට පවරන ඇමති ධූර ගැනද ඉඟි සපයා ඇති අතර මුදල්, මහාමාර්ග, වරාය වෙනත් කාටවත් ලබාදෙන්නට නොහැකි බවද තමා සන්තකයේම තබාගන්නා බවද පවසා ඇතැයි වාර්තා විය.

සජිත් ප්‍රේමදාස පසුගියදා පවසා තිබුනේ තමා රනිල් වෙනුවට විකල්පයක් ලෙස මේ අවස්ථාවේ පිලිනොගන්නා ලෙසයි.කෙසේ වෙතත් රනිල් අගමැති නොකිරිමේ සංවාදය සමග උණුසුම් මුහුණුවරක් ගත් අද සාකච්ඡාව රටට අගමැති කෙනෙකු නම් නොකරම නිමා විය.

මේ වනවිට ව්‍යවස්තාව අනුව සියලුම ඇමති ධූරවලත් අගමැති ධූරයෙත් වැඩ බලන්නේ ජනපතිවරයාය. ලංකා දේශපාලන ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් උදාවූ පළමු වතාව මෙයයි.

ජනපතිවරයා 7 වනදා පාර්ලිමේන්තුව විසුරවීමක් අපේක්ෂාවෙන් සියලු තීරණ පමා කරන ස්වරූපයක් මේ අනුව පෙනෙන්නට තිබේ.