ඩීසල් මිල තුන් වැනි වතාවටත් පහළ දැමුවත් බස් ගාස්තු සත පහකින්වත් පහළ දැමීමට ඉඩ නොදිය යුතු බවට පෞද්ගලික බස් සංගම් ප්‍රධානීහු එකඟතාවකට පැමිණ සිටිති. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දැමීමට සමගාමීව බස් ගාස්තු සියයට 2කින් පහළ
දැමීමට බස් සංගම් පියවර ගත්තද මේ වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ටයර්, ටියුබ් ඇතුළු බස් ගාස්තුවට බලපාන කරුණු එකොළහම බස් ගාස්තු අඩු කිරීමට එරෙහිව පැවැතීම නිසා ඩීසල් මිල පහළ ගියද බස් ගාස්තු අඩු නොකළ යුතු බවට බස් සංගම් ප්‍රධානීහු එකඟතාවකට පැමිණ සිටිති.

මේ පිළිබඳව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ඩීසල් ලීටරයක මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 3කින් අඩු කළ හැකි බවය. නමුත් බස් කර්මාන්තයට බලපාන අනෙකුත් කාරණා සැලකිල්ලට ගැනීමේදී බස් ගාස්තු අඩු කළ නොහැකි බවය. කෙසේ වෙතත් මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කර ලබන 06 වැනිදා බස් සංගම්වල ස්ථාවරය ප්‍රකාශ කරන බව කියා සිටියේය.

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ බස් ගාස්තු මේ මොහොත් අඩු කළ නොහැකි බවයි.ඩීසල් මිල පහළ යැමත් සමඟ කෙටි දුර බස් රථයක් දිනකට රුපියල් 500කට වඩා අමතර ලාභයක් උපයන බවත් දුරගමන් බස් රථයක් රුපියල් 3000ක පමණ දෛනික ලාභයක් ලබන බවත් බස් සංගම්වල  නියෝජිතයෝ හෙළි කර සිටිති.

-ශිරාන් රණසිංහ-