හෙම්මාතගම නගරයේ සිට සිය නිවස බලා යමින් සිටි තරුණියන් පිරිසකට මග රැකසිටි තරුණයන් කීපදෙනකු නොමනා අයුරින් විහිළු තහළු කිරීමේ සිද්ධියක් මුල් කරගෙන ඔවුන් සමග යමින් සිටි තරුණයකුට පහරදී
ඇතැයි කියන සිද්ධියක් 15 වැනිදා
හෙම්මාතගම පොලිසියෙන් වාර්තා වෙයි.

 මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බව කියන ඉහත කී තරුණ පිරිස එවැනි අවස්ථාවලදී පාරේ ගමන් ගන්නා තරුණ තරුණියන්ට උසුළු විසුළු කිරීම පුරුද්දක් කරගෙන ඇති අතර මෙදිනද එසේ විහිළු කරන අතරවාරයේ තරුණියන් සමග ගමන් ගත් ඥාති තරුණයකු ඊට විරෝධය පෑම නිසා මෙම ගැටුම ඇති වී ඇත. එහිදී පෙර කී සැකකරුවන් විසින් ඉහත කී තරුණයාට මෙසේ පහරදී තිබේ.

 මෙහිදී පහරකෑමට ලක්වූ පල්ලිපෝරුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණයා හෙම්මාතගම පර්යන්ත රෝහලට ඇතුළත් කර ඇත.

 සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් පිරිසක විසින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පල්ලිපෝරුවේ පදිංචි 16 හැවිරිදි සැකකරුවන් 4දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අසලවූ කෑළෑවක සැඟවී සිටියදීය.