මහ බැංකු කොල්ලයේදී රනිල්ගේ උපදෙස් මත බැඳුම්කර වංචාව සිදුකළ බව අර්ජුන මහේන්ද්‍රන් අධිකරණය
ඉදිරියේදී සාක්ෂි දුන්නා. දැන් රනිල් පපුව ගැහෙමින් ඉන්නේ මහ බැංකු හොරකමට හිරගෙදර ලගින්න වෙයි කියා බයෙන්' යැයි ජාතික නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.
කඩවත පැවති රැස්වීමකට එක්වෙමින් විමල් වීරවංශ මෙසේද පැවැසීය.

බල තණ්හාවෙන් තවමත් අරලියගහ මන්දිරයට වෙලා නීතිවිරෝධීව ලැගගෙන ඉන්න රනිල්ට මහ බැංකු හොරකම වගේම තවත් චෝදනාවක් තියෙනවා. මේ වෙනකොට අරලියගහ මන්දිරයේ තිබූ වටිනා කෞතුක භාණ්ඩ සියල්ලම අතුරුදන් වෙලා. මේවාට වගකියන්න කෙනෙක් නෑ. අද අරලියගහ මැඳුර ඉස්සරහ පිරිත් තියෙනවා. පිටිපස්සෙන් වටිනා භාණ්ඩ පන්නනවා. මහ බැංකු හොරකම වගේම ගේම් එකක් තමයි මෙතැනත් සිද්ධ වෙන්නෙ. කොළඹ සමහර වතුවල පිරිසක් තමයි දැන් අපේ රටේ වැදගත්ම ස්ථානයේ ආරක්ෂකයන් වෙලා සිටින්නේ. ලක්ෂ ගාණක දේපළ අස්ථානගත වෙලා ඉවරයි.

'රනිල් වික්‍රමසිංහ මහත්තයා විදේශිකයන්ට ඕනෑ විදියට නීතිය වෙනස් කළා. මහ බැංකුව නොදැන විදේශ මුදල් ගේන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්.
සම ලිංගික විවාහ නීතිගත කරන්න හැදුවා. ජනාධිපතිතුමාගේ උදහස නිසා ඒකෙන් ගැලවුණා. හැම මාසෙකම 10 වැනිදාට රටේ ජනතාවට මළගම ගෙනාව අවමංගලගේ තෙල් මිල සූත්‍රය හෙවත් එතුමාවත් නොදන්න 'අමිල සූත්‍රය' අපි බලයට පත්වෙලා අහෝසි කර දැම්මා. අපේ රජය බලයට පත්වෙලා සති දෙකක් ගත වෙන්න කලින් අපි තෙල් මිල තුන් වතාවකදී අඩු කළා. ජනතාව හුරාගෙන කාපු රනිල්ගේ ඊනියා ඇමැතිවරුන් දැන් නිහඬයි.

විමල් වීරවංශ මහතා පැවැසීය.

කැලණිය _ කුසුම් එස්. හැන්නදි