රුපියල් මිලියන 75  කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින  ඇමති විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 14 වන දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණය අද නියම කළේය.
මෙම නඩුව අද(26) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ
අවස්තාවේ විමල් වීරවංශ මහතාගේ නීතිඥවරු අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළ ජල බිල්පත් හා විදුලි බිල්පත් නිකුත් කිරීමට අදාළ පරිගණක පද්ධති පරීක්ෂා කිරීමට අවසර දෙන මෙන් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන්  ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
2010 වසරේ ජනවාරි මස පළවනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියනය 75කට ආසන්න වත්කම් නීති විරෝධී ලෙස රැස්කිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කරන චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුන අතර එය තව මාස 2 කට කල් තබා තිබේ.
මේ අතර මීට සතියකට 19 වනදා පෙර විමල් වීරවංශ සිය අමාත්‍යංශයේ වාහන හිතවතුන්ට හා ඥාතීන්ට ලබාදීම සම්බන්ධ නඩුවට නීතිපතිවරයා කරුණු දැක්වීම පමා කර තිබීම නිසා කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන වසරේ මැයි 06 වැනි දින දක්වා මාස 6 කට කල් දැමීමට තීරණය කර තිබේ.
මෙම කල් තැබීම් දෙකම සිදුවූයේ ඔක්තෝබර් 26 දේශපාලන වෙනසින් පසු ගතවූ මාසය ඇතුළතය.