හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ පණිවුඩයක් පෙළ පොත්වල ඇතුළත්ව තිබිම නිසා 2019 වසර සඳහා දරුවන්ට අවශ්‍ය පෙළපොත් බෙදා හැරීමේ කටයුතු මේ වන ඇනහිට ඇතැයි අකිල විරාජ්
කාරියවසම් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රජයේ අධ්‍යාපනය පිළිබඳ දරුවන්ට සහ අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ දරුවන්ට පණිවුඩයක් දීම සඳහාත්, අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන් උනන්දු කරවීම සඳහාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ
පණිවුඩයක් පෙළ පොත්වලට ඇතුළත් කිරීම අද ඊයේ සිදුවුවක් නොවන බව එම පණිවුඩය මඟින් පෙන්වා දෙයි.

මීට පෙර අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ ලයනල් ජයතිලක, බන්දුල ගුණවර්ධන ඇතුළු අධ්‍යාපන ඇමැතිවරුන් රැසකගේ පණිවුඩද පෙළ පොත්වල අන්තර්ගතව තිබු බව එහි සිහිපත් කර ඇත. මෙරට සමස්ත පාසල් දරුවන් ආවරණය කරමින් ක්‍රියාත්මක කර ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණය මේ වනවිට නතර කර ඇති බව පවසමින් ජනතාව නොමඟ යැවීම සහ දරුවන්ට එහි ප්‍රතිලාභ ලැබීමට ඇති අවස්ථාව අහිමි කරලීමේ උත්සහයක් පවතින බවත් මෙම කරුණු දෙකම සමාජගත කිරීමට අවස්ථාවාදීන් පිරිසක් උත්සාහ දරමින් සිටින බවත් එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

ඔක්තෝබර් 26 වැනිදා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශයෙන් නික්ම යන මොහොත් 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණය ක්‍රියාත්මක වූ අතර ප්‍රතිලාභ දෙගුණ කරමින් ඉදිරි වසරේදී රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන සියලු කටයුතු අවසන් අදියරේ පැවතුණු බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.


-ජේ.ටී.ද සිල්වා-