ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මගින් උපයාගත් රුපියල් කෝටි 7  1/2 කට ආසන්න මුදල් හා දේපොළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව
පවරා ඇති නඩුව තමා විභාග කිරීම සුදුසු නොවන බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුව විමසීමෙන් පසුගීයදා (02දා) ඉවත් විය.

බරපතළ වංචා සහ දූෂණ චෝදනා වීමර්ශන කොමිසමේ සාමාජික විනිසුරුවරයෙකු ලෙස තමා කටයුතු කරන බව මෙම නඩුව විභාග

කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී දැනුම් දුන් විනිසුරුවරයා නඩුව විමසීලමින් ඒලෙස ඉවත් විය. ඉන් අනතුරුව නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා වෙත යවනු ලැබූ අතර ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් හෙයියන්තුඩුව මහතා මෙම නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා යටතට පත් කළේය.

 ඒ අනුව මෙම නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා කැදවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් සිටීම නඩුවේ සාක්කිවලට අදාළ ලේඛන උපදවා ඇති පරිගණක පරීක්‍ෂා කිරීම සදහා දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා  සිටියේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේස්ය.

2009 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර හයක කාලය තුළදී විත්තිකාර  විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපොළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත්‍රයේ සඳහන් වේ.

2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යනුකුල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපොළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපොළ උපයාන්ගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සදහන් කොට ඇත.

 මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපොළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන ලිපිගොනු දෙකක්ද අධිචෝදනා පත්‍රය සමග අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරීපත් කොට තිබිණි.

 ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරුවරයා පරිගණක පක්‍ෂා කිරීම සඳහා මෝසමක් මගින් ඉල්ලීමක් කිරීමට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන නොවැම්බර් මස 26 වැනිදා කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂෂ ජනරාල් නීතිඥ සුනේත්‍රා ජයසිංහ මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටී.