තමන් ප්‍රකට පාතාල නායකයන් දෙදෙනෙකු බවට පවසමින් වෙළඳ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනෙකු කෑගල්ල මහේස්ත්‍රාත් චාමර
වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 12දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

 මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දංඕවිට කළුකන්දේ පදිංචි සේතු මුදලිගේ ගයාන් බුද්ධික නැමැති 27 හැවිරිදි පුද්ගලයෙකු හා කෑගල්ල, හිරිවඩුන්න, ග්‍රේස්ලින් ජනපදයේ පදිංචි මල්ලිකා ගෙදර රත්නසිරි දසනායක නමැති (40) හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරුවන් දෙදෙනා කලක් කෑගල්ල පොලිස් වසමේ රන්දෙණිය ප්‍රදේශයේ ලී මෝලක සේවය කරමින් සිටියදී හඳුනාගෙන ඇති බවත්, පසුව ඔවුන් දෙදෙනාම එම ලී වෙළඳ සැලෙන් 

ඉවත් වී ඇති අතර, පළමු සැකකරු සූදු සෙල්ලම් කිරීමට පුරුදුවී ඇති බවත් පොලීසිය පවසයි.

පළමු සැකකරුට සූදු පොළකදී පුද්ගලයකු යටියන්තොට ප්‍රදේශයේ කාන්තාවකගේ ජංගම දුරකථනයක්, සිම් කාඩ්පත සමග උකස් කර ඇති අතර, එම ජංගම දුරකථනය භාවිතා කරමින් දෙවැනි විත්තිකරු විසින් ලබාදුන් තොරතුරු අනුව රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි  ඔවුන් සේවය කළ පළමු ලී වෙළෙඳ සැලේ හිමිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් කප්පම් ලෙස පසුගිය මස 03දා ඉල්ලා ඇති බවත්, මෙහිදී මුදල් නොවුණහොත් බිරිඳත්, දරු දෙදෙනාත් ඝාතනය කරන බව දන්වා ඇති බවත් පොලීසිය පවසයි.

මේ පිළිබඳව ඔක්තෝබර් 04දා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද  පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා පළමු සැකකරු දංඕවිට ප්‍රදේශයේදීත්, දෙවැනි සැකකරු හිරිචඩුන්න ප්‍රදේශයේදීත් පසුගිය 29දා අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් දෙදෙනා පසුගියදා (30 දා)  කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු නොවැම්බර් 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර, අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී ජංගම දුරකථන තුනක් හා ලැප්ටොප් පර්ගණකයක්ද පොලීසිය විසින් සොයාගෙන  තිබුණි.

මොවුන් දෙදෙනා මීට පෙර හිරිවඩුන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 04ක කප්පම් මුදලක් ලබා ගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, තවත් එම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබා ගෙන ඇති බවත් අනාවරණය වේ.  මෙහි පළමු සැකකරු කප්පම් මුදලක් සම්බන්ධයෙන් රුවන්වැල්ල අධිකරණයේ වැරදිකරුවෙකු වී ඇති බවත්, වරකාපොළ තුල්හිරිය අධිකරණයේ දැනට කප්පම් මුදලක් සම්බන්ධයෙන් නඩුවක් පවතින බවත් පොලීසිය පවසයි.