https://www.gossiplankanews.com/2018/11/sumanthiran-sue-president.html#more
ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව සම්මත කරගත් විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවදුරටත් පියවර නොගෙන සිටින්නේ නම් ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව රජයක් පවත්වාගෙන යා නොහැකි බවත්,
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් ආණ්ඩු. බලය අල්ලාගෙන සිටින බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී. බවත් ඔහු පවසයි. පාර්ලිමේන්තුවේ පසුගිය 16 වැනිදා ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සහ රට තුළ උද්ගත වී ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළකරමින්

ඔහු මෙසේ ද කීය.
"මේ සිදුවීම් ඔකොම පටන් ගත්තේ ඉකුත් 26 වනදායි. එදා තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා වශයෙන් පත්කළේ. සාමාන්‍යයෙන් ඒ වගේ අගමැති කෙනකු පත්කළා නම් පාර්ලිමේන්තුවේ එතුමාට බහුතරයක් තියෙන්න ඕන. නමුත් මෙතන එතුමාව පත්කළාට පස්සේ පාර්ලිමේන්තුව කල්දැමුවා. පසුව විසුරුවා හැරියා.
අධිකරණ නියෝගයට පසුව 14 වැනිදා පාර්ලිමේන්තුව කැදවූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තා. එදත් ඒ අවස්ථාවේදී බාධා කරපු නිසා කටහඩ අනුව තමයි ඒ විශ්වාසභංගය සමත කරගත්, පසුව 15 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කතානායකතුමා විසින් පෙර දින සම්මත කරගත් තීරණය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) ජේදය යටතේ ඇමැති මණ්ඩලයක් දැන් නැති බව ප්‍රකාශ කළා.

ඉන්පසුව ජනාධිපතිවරයා පක්ෂ නායකයන් හමුවෙලා 14 වැනිදා සම්මත කරගත් යෝජනාවේ පළවෙනි ඡේදය තමන්ට පිළිගත නොහැකි බවත් දෙවැනි ඡේදය පමණක් නැවත සම්මත කරගත්තොත් තමන් ඒ අනුව කටයුතු කරන බවත් දැනුම් දුන්නා. ජනාධිපති මාධ්‍ය අංශය ඒ. බව නිල වශයෙන් නිකුත් කරලා තියෙනවා..
ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව තමයි 16 වැනිදා නැවත ඒ යෝජනාවේ පළමුවැනි ඡේදය නැතිව දෙවැනි ජේදය පමණක් සම්මත කරගන්නට උත්සාහ කළේ, කතානායකවරයා පාර්ලිමේන්තු ආසනයට පැමිණීම වළක්වාගෙන මන්ත්‍රීවරු කතානායක ආසනය වටා රැස්වෙලා හිටියා. නමුත් කතානායකතුමා පොලිස් ආරක්ෂාව සහිතවම සභාවට පැමිණ එහි සිට ස්ථාවර නියෝගය අත්හිටුවලා පසුගිය ඔක්තෝබර් 26 දින සිට මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බව ගරු සහාවට ප්‍රකාශ කරනවා කියන යෝජනාව කටහඩින් සම්මත කරගත්තා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයකු අගමැති විදිහට පත්කරන්න පුළුවන්. එහෙම අදහසක් ජනාධිපතිවරයාට තියෙන්න පුළුවන්. ඒ මතය වැරැදි ද නිවැරැදි ද කියල තීරණය කරන්නට

පාර්ලිමේන්තුවයි.
ඒ අභියෝගයේදී 120ට වැඩි ගාණක් අපිට විශ්වාස නැහැ කියල කියන වෙලාවේ උත්සාහයක් ගත්තා සල්ලිවලටයි ඇමැතිකම්වලටයි අල්ලස් දීලා මන්ත්‍රීවරුන් එකතු කරගන්න. කිහිපදෙනකු එහෙම ගියත් ඒ උත්සාහය අසාර්ථක වුණා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. ඊට එරෙහිව තමයි අපි උසාවි ගිහිල්ලා මෙය නිවැරැදි නැහැ කියල අතුරු තහනම් නියෝගයක් ගත්තේ.
මම හිතන්නේ නැහැ කවදාවත් අපේ රට පාර්ලිමේන්තුවේ මේ වගේ තත්වයක් තිබුණා කියලා. තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්නන්න බැරි
කෙනකු බලහත්කාරයෙන් බලය අල්ලගන්න ගන්න උත්සාහයක් තමයි අපි අද දැක්කේ .
පසුගිය 14 වැනිදා මේ යෝජනාව සම්මත කරගත්ත අවස්ථාවේදීම රටේ නීතිය අනුව රටේ කැබිනට් මණ්ඩලයක් නැතිවෙනවා. ඒ බව ව්‍යවස්ථාවේ 48 (2) වගන්තියෙන් පැහැදිලිවම කියලා තියෙනවා. එසේ තිබියදීත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුවයි අපි අදත් මේ යෝජනාව ගෙනාවේ.
මේ තීරණය අනුව ජනාධිපතිවරයාත් කටයුතු කරන්න ඕනෑ. දවස් තුනකට විශ්වාසභංග යෝජනා තුනක් සම්මත කරගනිමින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය ගැන විශ්වාසය නැහැ කියල ප්‍රකාශ කර තිබියදී ඔවුනට තවදුරටත් තනතුරුවල ඉන්න බැහැ. ජනාධිපතිවරයා කඩිනමින් ඔවුන්ව තනතුරුවලින් ඉවත් කරන්න ඕනෑ. අපි මුල සිටම ඔක්තෝබර් 26 වැනි දින සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන මෙම පත්කිරීම් හා ඉවත් කිරිම් ඇතුළු ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් සිදුකර තිබෙන බව අවධාරණය කළා. මේ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරයයි.

ජනාධිපතිවරයා හමුවීම සාකච්ඡා කළ අවස්ථා කිහිපයේදී ද අපි ඔහුට මේ බව අවධාරණය කළා. ජනපති අපේ තීරණය වෙනස් කරන්න කියල ඉල්ලුවා. අපිට ස්වාධීනව ඉන්න කිව්වා. දෙයක් කියන්න කැමතියි අපි කාටවත් සහාය දෙන්න මෙහෙම තීරණයක් ගත්තේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග යට එරෙහිවයි අපි නැගී සිටියේ” යැයි ද කීය.