කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (07) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 74.88 ක පසුබැස්මක් වාර්තා කළේය. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.24% ක පහළ යාමකි. මේ අනුව
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 5,987.21 ක් ලෙසිනි. මේ අනුව යළිත් වරක් ඒකක හය දහසෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය ඊයේ දින පැමිණ තිබේ.


මේ අතර ඊයේ දිනයේ දී රුපියල් බිලියන 1.31 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.

ඊයේ දින ගනුදෙනු වූ සමාගම් කොටස්වලින් සමාගම් 25 ක් සියලු කොටස් මිල දර්ශකය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දුන් නමුත් සමාගම් 113 ක දායකත්වය පැවතියේ සෘණාත්මක මට්ටමකය.

මිල දර්ශක හැසිරීම සඳහා ඉහළ සංවේදිතාවයක් දක්වනු ලබන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස්, ඩිස්ටිලරීස් හා ඩයලොග් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම ඊයේ දින සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට වැඩි දායකත්වයක් ලබා දී ඇත.