තමා කටයුතු කරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ලබා දෙන නිශ්චිත උපදෙස් සහ නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේය.

පොලිස්‌පතිවරයා මේ බව කියා සිටියේ පොලිස්‌ මූලස්‌ථානයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජිත් ජයසුන්දර මහතා මෙසේද පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයකු පත් කර තිබෙනවා.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයද ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙනවා.

නව ආරක්‍ෂක ලේකම්වරයකු පත් කර සිටිනවා. පොලිස්‌ දෙපාර්තමේන්තුව දැන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයා ලබා දෙන නියෝග මත.

2015 පොලිස්‌පති චක්‍රලේඛයේ සඳහන් වෙනවා, ඇමැතිවරයකුට සහ මන්ත්‍රීවරයකුට ලබාදෙන ආරක්‍ෂාව පිළිබඳව. ඒ අනුව හිටපු ඇමැතිවරුන්ගේ ආරක්‍ෂාව ඉවත් කර ඒ අයට මන්ත්‍රී ආරක්‍ෂාව ලබාදී තිබෙනවා.

ඒ වගේම අලුතින් පත් වුණු ඇමැතිවරුන්ට ඇමැතිවරයකුට ලබාදෙන ආරක්‍ෂාව ලබාදෙන්න කටයුතු කර තිබෙනවා.

නීතිය සහ සාමය පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති නලින් බණ්‌ඩාර මහතා විසින් පොලිස්‌ මූලස්‌ථානය වෙත පෙරේදා (06 වැනිදා) ලිපියක්‌ භාර දෙමින් හිටපු ඇමැතිවරුන්ගේ ඇමැති ආරක්‍ෂාව තවදුරටත් ලබා දෙන ලෙස ඉල්ලීමක්‌ කර තිබිණි.

මෙම මාධ්‍ය හමුව පොලිස්‌පතිවරයා විසින් ඊයේ කැඳවා තිබුණේ හිටපු නියෝජ්‍ය ඇමැති නලින් බණ්‌ඩාර මහතා පොලිස්‌ මූලස්‌ථානය වෙත ඉදිරිපත් කර තිබූ මෙම ලිපියට අදාළ නීතිමය තත්ත්වය පැහැදිලි කිරීම සඳහාය.

-හේමන්ත රන්දුණු-