මේ දිනවල රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මඟින් ජනතාවට හා රටට සේවාවක් ඉටු නොවන බවත් සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශ අකර්මණ්‍ය තත්ත්වයක පවතින බවත් එම අංශ ප්‍රධානීන් හා ආයතන ප්‍රධානීහු පවසති.
හදිසියේ සිදු වූ දේශපාලන

වෙනසත් සමඟ ඇමැතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ඉවත්ව යෑමත් නව අමාත්‍යවරුන් නැවත පත් කිරීම සම්පූර්ණ නොවීමත් හේතු කොටගෙන අර්බුද රාශියකට මුහුණ දීමට සිදුව ඇත්තේ අතිරේක ලේකම්වරුන්ට හා වෙනත් නිලධාරීන්ට බවත් පෙන්වා දෙන එම ප්‍රධාන නිලධාරීන් සඳහන් කරන්නේ ගිය රජය යටතේ ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසූ ව්‍යාපෘති හා ක්‍රියාත්මක කරමින් තිබූ ව්‍යාපෘති ඇනහිටීම මඟින් ජනතාව හා ව්‍යාපෘති භාර නිලධාරීන් අසීරුතාවකට මුහුණ දෙන බවයි.

රජය මත පිහිටා කටයුතු කරන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා විවිධ ඒකක මෙම අසීරුතාවන්ට මුහුණ දෙන බවත් මහා භාණ්ඩාගාරය මඟින් අනුමත කර අමාත්‍යාංශවලට යොමු කර තිබූ මුදල් ද නැවත මහා භාණ්ඩාගාරයට යොමු වීම සිදු විය හැකි බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.

මෙම හේතු නිසා රාජ්‍ය අංශය කඩා වැටීමක් පෙන්නුම් කරන බවත් ඊට විසඳුම නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ශක්තිමත් කරමින් අංශවලට අදාළ නිලධාරීන් පත් කිරීම බවත් ඔවුහු පෙන්වා දෙති.

නුවන් හෙට්ටිආරච්චි