https://www.gossiplankanews.com/2018/11/sajith-unp-candidate-prime-minister.html#more
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එජාපය අද (10) උදෑසන පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීමක් පවත්වා තිබෙන අතර එහිදී තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡාවට ගෙන තිබේ. මෙහිදී ව්‍යවස්ථා විරෝධී කටයුතු වලට ප්‍රතිචාර දැක්වීම ගැන මෙන්ම එළැඹ තිබෙන තරගකාරී දේශපාලන අභියෝගය හමුවේ
එකමුතුවී ඉදිරි මහ මැතිවරණයට හා

ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා තීරණාත්මක අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙහිදී මහ මැතිවරණයේ වෙනුවෙන් අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවට බහුතරයක් දෙනා යෝජනා කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවටත් මෙහිදී යෝජනා කෙරී ඇත. එම මත දෙක සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් විසින් දක්වා ඇති බවද වාර්තාවිය.

කෙසේ වෙතත් අවසන් තීන්දුවක් තවම ලබාගෙන නැත. රජය නියම කර ඇති දින වකවානු අනුව තවත් මාස 2 කට අඩු කාලයකින් මහමැතිවරණය පැවැත්වෙන නිසා මෙම තීරණ ඉක්මන් විය යුතු බවට අදහස් පැනනැගී ඇත.
අද (10) සවස තවත් තීරණත්මක රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බව පැවසේ.

මේ අතර එජාපය වෙනුවෙන් නායකත්ව මණ්ඩලයක් නිර්මාණය කර ඒහි සභාපතිත්වය කරූ ජයසූරිය මහතා පත් කළ යුතු බවටද අද ගෙනා යෝජනාවකින් කියැවී ඇත.
මින් ඉහත 1989-93 කාලයේ ලංකාවේ ජනපති ධූරය දැරූ රණසිංහ ප්‍රේමදාස දුප්පතුන් වෙනුවෙන් වැඩ කිරීම නිසා ප්‍රකටවූ දේශපාලකයෙකි. ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාසද ඔහුව අනුගමනය කරමින් දේශපාලනය කළේය.

ලැබෙන ආරංචි අනුව ඉදිරි මහමැතිවරණයේදී අගමැති ධූරය සඳහා මහින්ද හා සජිත් අතර තරගයක් දැකබලාගන්නට හැකිවනු ඇත.දෙදෙනාම හම්බන්තොට සිය ඡන්ද පදනම කරගෙන දේශපාලනය ඇරඹූ අය වීම විශේෂිතය.