https://www.gossiplankanews.com/2018/11/rasindu-funeral.html#more
සුගියදා අවාසනාවන්ත ලෙස නොහික්මුණ සිසුවෙකුගේ පිහි පහර නිසා ජීවිතයෙන් වන්දිගෙවන්නට සිදුවූ මාතර උසස්පෙළ සිසු රසිඳු ගිම්හාන්ගේ අවසන් කටයුතු ඊයේ දහසකට වැඩි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තිහගොඩ පවුලේ සුසාන භූමියකදී සිදුවිය. ඔහු ඒ 8 ක් සහිතව සාමාන්‍ය පෙළ සමත්ව උසස්පෙළ විභාගයටද කැපවී පාඩම් කරමින් සිටි සිසුවෙකු බව පැවසේ. රසිඳුගේ පියා සහ මව අයිස් මෝලක රැකියාව කරමින් සිටි අතර
මව පසුව එම සේවයෙන් ඉවත්වී සිටියාය.ඔහු දුෂ්කරතා මැද හිස ඔසවන්නට වෑයම් කළ අයෙකි.
'අම්මාටයි තාත්තටයි මේ කට්ට කන්න වෙන්නේ තව අවුරුදු කිහිපයයි. මම උසස් පෙළ විභාගයෙන් ජය ගන්නවා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු වෙලා මගේ අම්මයි තාත්තායි ගොඩ දානවා. එළිවෙන අලුයමේ සීතලේ ගැහි ගැහී ඒ දෙන්නා යන අයිස් මෝලේ රස්සාවට තිත නියන්න පුළුවන්.  අපිට බැරි කාලේ අපිව ජීවත් කරන්න තාත්තා ගත්තු වෙහෙස මම දන්නවා. මොනවා කරන්නද තව ටික කාලයක් ඔහොම තාත්තා දුක් වින්දත් මම වෛද්‍යවරයෙක් වෙලා පවුලම ගොඩ දානවා' යයි ඔහු කියා තිබූ බව

ඔහුගේ වියෝවෙන් දුක කරාගත නොහැකිව විලාප නගමින් සිටි මව ප්‍රකාශ කළාය.

පසුගිය 24 වැනි දින මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසලදී ගැටුමෙන් පසු මියගිය රසිඳු මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ විද්‍යා අංශයෙන් ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේය.
රසිදු ගිම්හාන ශිෂ්‍යයාගේ ඝාතනය නිසා තිහගොඩ බණ්ඩත්තර ගම්මානයම ශෝකයෙන් නැහැවී ගොස් තිබුනි. ඔහුගේ අවසන් කටයුතු සඳහා පාසල් සිසුසිසුවියන් දහසකට වැඩි පිරිසක් එක්ව සිටියහ.
 සිවු දෙනකුගෙන් යුතු පිරිමි දරුවන් සිටින පවුලේ දෙවැනියා වූ රසිදු ගිම්හාන පවුලේ වැඩිමහල් සහෝදරයාට මෙන්ම බාල සහෝදරයන් දෙදෙනාටද පියකු මෙන් ආදර්ශවත් වූ බව කියැවේ.මෙම ගැටුම ඔහුට සම්බන්ධ ප්‍රශ්නයක් නොවීමත් ඔහු තම සොයුරා වෙනුවෙන් ක්‍රියාකරන්නට ගොස් සිදුවූ දෙයක් වීමත් කණාගාටුවට කරුණකි.

මෙම ආරවුලට ප්‍රධාන සැකකරු වූ විටියල පදිංචි සිතිජ සෞන්දර්ය සමඟ ආරුවලේ මුල් අවස්ථාවේම කතාබහ කරගෙන විසඳන්නට රසිඳු උත්සාහයක නිරතවී තිබේ. එහෙත් ඔහු සමඟ කතා කර ප්‍රශ්න විසඳා ගැනීමට අපහසු අයකු බව රසිදුට තේරුම් ගොස් ඇති අතර නිතර නිතර ගැටුම් ඇති කරගෙන තිබේ.

 රසිදුගේ වැඩිමහල් සහෝදරයා නවිදු නදුෂාන්ය. (21) ඔහු මීට වසරකට පමණ පෙර සිට දියතලාව ගුවන් හමුදා කඳවුරේ සේවය කරයි. ඔහුගේ විසිරයෑමේ උත්සවය ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිතව තිබූ බවත් එම උත්සවය දැක ගැනීමට යැමට රසිඳු මහත් ආශාවෙන් බලා සිටි බවත් කියැවේ.

රසිදුගේ බාල සොයුරු මියුරු හිමල්ක 16 වියේ පසුවෙයි. ඔහු මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.
රසිදු ගිම්හානගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු  වූ සිතිජගේ පාසල් පෙම්වතියට බැන වැදුණේ  යැයි රසිදුගේ බාල සොයුරු සමඟ මෙම ආරවුල ඇතිකර ගෙන තිබේ. නිශදු පවසන්නේ සිතිජගේ පාසල් පෙම්වතිය තමාට බැන වැදුණු බවත් ඊට ප්‍රතිචාර ලෙස තමාද බැන වැදුණු බවය. එය සිතිජට පවසා තිබීම නිසා සිතිජ තමාට පහර දුන් බවයි. එහෙත් නිශදු කවිෂ්කගේ මිතුරන් පවසන්නේ සිතිජගේ පෙම්වතිය සමඟ හාද වීමට ගිය නිසා මේ ආරවුල ඇති වූ බවයි. එහෙත් මේ වන විට විය යුතු සියල්ල සිදුවී හමාරය.

මෙම සිද්ධියට සම්බන්ධ තිදෙනාම දැන් අත්අඩංගුවේ පසුවේ. ඔවුන් තවමත් 17 වන වියේ පසුවන්නන් වීම විශේෂිතය. මෙතරම් ළාබාල වයසක අය මිනීමැරුම් කර ප්‍රශ්න විසඳාගන්නට උත්සාහ දැරීම සම්බන්ධයෙන් සමාජය තුළ බරපතල සාකච්ඡාවක් ඇති කරන්නටද මෙම සිද්ධිය හේතු විය.