වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකු පෙරේදා (24) සවස තංගල්ල  කොට්ඨාස විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2008
සහ 2009 වසරවල සූරීයවැව පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ රත්නපුර, උඩකිරිඇල්ල පදිංචි පොලිස් පරීක්ෂකවරයකු වූ චානක සුමනසිරි නමැත්තාය.  2010 වසරේ අගෝස්තු මාසයේදී දෙහිවල පොලිස් ස්ථානයේ පාලන අංශයේ සේවය කරමින් සිටියදී ඔහුගේ වැඩ තහනමට ලක් විය.

සුරියවැව ප්‍රදේශයේ තරුණියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් තිස්එක් ලක්ෂ හතළිස් දහසක මුදලක් වංචා කිරීම, විශ්වාසය කඩකිරීම හා මහෙන්ද්‍රා ජීප් රථයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ තරුණිය විසින් තංගල්ල කොට්ඨාස විශේෂ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ. නාලක සංජීව මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කෙරිණි. තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

-ඩී.එන්.ජයසේකර-