රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා රියදුරු පුහුණු පාසලකට ගිය කාන්තාවක්‌ මිතුරුකරගෙන පසුව ඇය රවටා රුපියල් දස ලක්‌ෂ පනස්‌ දහසක්‌ වංචා කරන ලද බව කියන රියදුරු උපදේශකවරයකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව ඇය මැදි වයසේ පසුවන පුද්ගලික ආයතනයක සේවය කරන එක්‌ දරු මවකි. සැමියාද නොමැති ඇයට රියදුරු බලපත්‍රය ගැනීමේ ආශාවක්‌ ඇතිවිය.

 එනිසා ඇය නගරයේ රියදුරු පුහුණු පාසලකට ගොස්‌ ඇත. දින දෙක තුනක පුහුණුවෙන් පසුව රියදුරු

උපදේශකවරයා පවසා ඇත්තේ රුපියල් විසිපන් දහසක්‌ දෙන්නේ නම් ඉක්‌මනින් රියදුරු බලපත්‍රය ගෙනදිය හැකි බවය.

 ඒ අනුව ඇය රුපියල් විසිපන් දහස රියදුරු උපදේශකවරයාට දී ඇත්තේ ඉක්‌මනින් රියදුරු බලපත්‍රය ලබා ගැනීමටය. එහෙත් ඇය පරීක්‌ෂණයෙන් අසමත්ව ඇත. එනිසා ඇය දෙවන වතාවටද රියදුරු පුහුණුව සඳහා ගොස්‌ ඇත. එම අවස්‌ථාවේදීද ඇයගේ පුහුණුවට ලැබී ඇත්තේ පෙර උපදේශකවරයාමය. ටික දිනක පුහුණුවෙන් පසු ඇය උපදේශකවරයාට පවසා ඇත්තේ තමාගේ නිවසට පැමිණ පුහුණු කරන ලෙසය.

 බලවත් සතුටට පත් ඔහු ඇයගේ නිවසට ගොස්‌ පුහුණු කරන්නට පටන්ගෙන ඇත. එහිදී ඔහු ඇයට පවසා ඇත්තේ හැමදාම අනුන් ළඟ සේවය කරනවාට වඩා තමාගේම රියදුරු පුහුණු පාසලක්‌ ආරම්භ කිරීමට හැකිනම් හොඳ බවය. තමාට දැන් හැමදේම පුහුණු කරන්නේ ඔහු නිසා රියදුරු පුහුණු පාසලක්‌ ආරම්භ කිරීමට මුදල් දීමට ඇය පොරොන්දු වී ඇත.

 ඇය තමාගේ අර්ථ සාධක අරමුදලින් රුපියල් දස ලක්‌ෂ පනස්‌ පන් දහසක්‌ ණයට ගෙන උපදේශකවරයාට දී ඇත්තේ රියදුරු පුහුණු පාසලක්‌ ආරම්භ කිරීමටය. ඉන්පසු ටික දිනකින් පුහුණුවද නතරවී ඇති අතර ඔහු ආරම්භ කරපු රියදුරු පාසලක්‌ ද නැත. එනිසා මුදල් ඉල්ලුවත් ආපසු නොදුන් නිසා ඇය පොලිසියට පැමිණිලි කර තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.