https://www.gossiplankanews.com/2018/11/court-dissolve-judge.html

 5.30 Pm
 පාර්ලිමේන්තු විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගයට අදාළ තීන්දුව ලබාදීම හෙට 13 ට කල් දමන බව නිවේදනය කිරීමෙන් පසු අද ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු අවසන් විය.
දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් පෙත්සම් කරුවන් කරුණු දැක්වූ අතර ජනපතිවරයා ව්‍යවස්ථා විරෝධී තීරණයක් ලබාගත් බව එම කරුණු වලින් අවධාරණය කෙරිණි.මෙම පෙත්සම් ඇතැම් ඒවා ජනපති තීරණයට පක්ෂවද
යොමුව තිබුනි. (පක්ෂ එකක් යොමු කර තිබුනේ විමල් වීරවංශයි)
පෙත්සම් විභාගය හෙට 13 පෙරවරු 10ට ඇරඹෙන අතර නීතිපතිවරයාද හෙට යළි කරුණු දක්වනු ඇත.

4.35 Pm

 පාර්ලිමේන්තු විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගය ආරම්භයේදීම රජය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපතිවරයා මෙය කල්දැමීමට උත්සාහයක නිරත විය.
ඒ අනුව ඔහු කියා සිටියේ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බවයි.
මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය අධිකරණයට දැනුම් දුන්නේය.  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ තවමත් කරුණු දැක්වීම් සිදුවේ.

 4.05 Pm
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව බැවින් මැතිවරණය පැවැත්වීම අත්හිටුවා එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම් විභාග කිරීම මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ

දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුගෙන් ඇතුළු පෙත්සම් 12ක් අද දිනයේදී ඉදිරිපත් කෙරිණි.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරිම ආරම්භ වී තිබේ.

 11.25 am
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු  පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 ක් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව
මෙම පෙත්සම් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබේ.
මේ වන විට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි  ඇතුළු පාර්ශව මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු විසින්ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

8.25 am
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බව දක්වමින් ඊට එරෙහිව පාර්ශ්ව රැසක් අද (12) දිනයේ අධිකරණයට යාමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , ද්‍රවිඩ සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය මේ අතර සිටී.ජනතා ඡන්දයෙන් තේරී පත්වූ
පාර්ලිමේන්තුව ‍19 සංශෝධනය ප්‍රකාරව 2020 මාර්තු මාසය දක්වාවත් පැවැත්විය යුතු අතර ජනපතිගේ හිතුමනාපයට විසුරුවාලන්නට බැරි බව ඔවුනගේ තර්කයයි.
ඊයේ 11 පැවැත්වූ ජනපතිගේ කතාව අනුව පැවති ආණ්ඩුවේ අගමැති පුටුව මාරු කිරීමට තමා ගත් තීරණය අනුමත

නොවීමේ අවදානමක් පැවති නිසාත් ඊට කතානායකගේ පිළිගැනීමක් නොමැති නිසාත් මෙම විසුරුවීම කළ බව කියා සිටි අතර මහජනතාවට වඩාත් සුදුසු කෙනා පත්කිරීමට අවස්ථාව දීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය ලෙස මතුකර පෙන්වන ලදි.

නමුත් ජනතාව ඉල්ලා නොසිටි මොහොතක ජනපතිට තමන් ප්‍රිය කරන කෙනා පත්නොවීම හේතුවක් කරගෙන මේ ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට හැකි නම් ඉදිරියේදී පත්වන ඕනෑම රජයක් එක් මොහොතකින් අතුගා තමන් කැමති අගමැතිවරයා පත්වනතුරු ඡන්ද පැවැත්වීම කළ හැකි නොවේදැයි නීති තර්කයක්ද මතුව තිබේ.

මෙසේ හෙයින් අද අධිකරණය හමුවේ කරන පැමිණිල්ල අනුව විධායකය ගත් තීන්දුවක් ගැන අධිකරණය අභියෝගාත්මක තීන්දුවකට යොමු වනු ඇත.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළේ පවතින ගැටළුවට උපරිමාධිකරණය හරහා
විසඳුමක් ලැබෙනු ඇති බවත් එසේ නොවුණත් තමන් මැතිවරණය සඳහා සූදානම් වන බවයි .
ජනතා විමුක්ති පෙරමුණද අද දිනයේ අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමටයි නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සඳහන් කර තිබේ.
ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාද ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය
වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාවුෆ් හකීම් ද සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන්ද අධිකරණයට යාමට නියමිතය.

අධිකරණයට යාම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇත්දැයි නැගු ප‍්‍රශ්නයකට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ,  “තහනම් නියෝගයක් දුන්නොත් අපිට ඒ වෙලාවෙම වැඩේ නවත්තන්න පුළුවන්. නමුත් තහනම් නියෝගයක් නොදී මේක කරගෙන යන්න වුනෝතින් එතකොට කාලය නැති වෙනවා. ඒ නිසා තහනම් නියෝගයක් ලැබෙන තෙක් ඒ කාර්යය කරගෙන යන්න අපේ නිලධාරීන් බැඳිලා ඉන්නවා.” යනුවෙනි.