https://www.gossiplankanews.com/2018/11/Devanesan-Nesiah.html#more

 ගත වූ සතියක කාලයේදී ජනාධිපතිවරයා ගත් තීරණ හේතුවෙන් ඔහු ගැන තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂා භංග වී ඇතැයි ද එනිසා පසුගිය වසරේදී ඔහුගේ අතින් තමාට පිරිනැමුණු
දේශමාන්‍ය සම්මානය නැවතත් ජනාධිපති කාර්යාලයටම යොමු කරන්නේ යැයි සඳහන් කරමින් ආචාර්ය දේවනේසන් නේසයියා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර ඇත.

උදා වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවට හිතැති දේශප්‍රේමියකු හැටියට සම්මානය හා සහතිකය නැවත ජනාධිපතිවරයාටම යොමු කිරීම හැර විකල්පයක් නොදකින්නේ යැයි ද ආචාර්ය නේසයියා එහි සඳහන් කර තිබේ.


වසර 60 ක සිය පරිපාලන සේවා ඉතිහාසයේදී ශ්‍රීලනිප හා එජාප යන ආණ්ඩු දෙක යටතේම තමා තාඩන පීඩනවලට මුහුණ දුන්නේ යැයි ද ඔහු එහි සඳහන් කර ඇත.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේදී තමා හා නෑසිය මිතුරන් සියලු දෙනා දැඩි සන්තෝෂයට පත් වුව ද අද වනවිට එම හැඟීම වෙනස් වී ඇතැයි ද ආචාර්ය නේසයියා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ඇගයීම සඳහා පැවැති ‘ජාතික සම්මාන(2017) උළෙල‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පසුගිය වසරේ මාර්තු මස 20 වැනිදා පැවැති අතර ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් පිදෙන දේශමාන්‍ය සම්මාන 10ක් එහිදී පිරිනැමිණ.

බිඟුන් මේනක ගමගේ