රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට කුලී පදනම මත ලබාගත් වාහන 40ක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් නව කෝටි දහසය ලක්‍ෂ තිස්පන්දහසකට (රු. 91,035.000) අධික මුදලක් පාඩු කිරීම
සම්බන්ධයෙන් පවතින විමර්ශන අවසන් කොට නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

විමර්ශන අවසන් කොට නීතිපති උපදෙස් සඳහා යොමු කරනු ලැබුවද

ඒ සම්බන්ධයෙන් තවම නීතිපති උපදෙස් ලැබී නොමැති බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
සිද්ධිය සම්බන්ධව හිටපු නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු වන සමන්ත ලොකුහැන්නදිගේ මහතා චෝදනා ලැබ සිටිති.
විමල් වීරවංශ මහතා සහ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදිගේ මහතා සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට මේ වනවිට ඇප ලබා සිටින අතර අධිකරණය මඟින් ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇත.
නීතිපතිවරයා මෙම නඩුවට කරුණු දැක්වීම පමා කර තිබීම නිසා කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන වසරේ මැයි 06 වැනි දින දක්වා මාස 6 කට කල් දැමීමට තීරණය කරන ලදි.