https://www.gossiplankanews.com/2018/10/weligampitiya-woman-killer-dies.html
පාතාල කණ්ඩායම්  දෙකක් අතර විරසකයක් හේතුවෙන් මරාදමන්නට උවමනාවූ ‘කළු අජිත්‘ නමැත්තෙකුගේ මෝටර් රථය යයි වැරදී තේරුම් ගෙන ඒ හා සමාන රථයකට පාතාල පිරිසක් මහමගදී වෙඩි තබා සිය දියණිය සමග ගමන් කළ මවක ඝාතනය වූ අවාසනාවන්ත සිද්ධියක් පසුගියදා වැලිගම්පිටියෙන් වාර්තා වී තිබුණි. ඊයේ වාර්තා වූයේ අදාළ ඝාතනය සිදු කළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව පසුව අනෙක් සැකකරුවන් සිටින ස්ථාන පෙන්වන්නට යද්දී සියදිවිනසාගත් බවය. පොලිසිය පවසන්නේ
ඔහු ශරීර කෘත්‍යය සඳහා පාලමක් ළඟ වාහනය නතර කර වූ බවත් පසුව පළායාමට උත්සාහ කළ බවත් ඒ අවස්ථාවේ මාංචු පිටින් ගඟට පැන්න නිසා මරණයට පත්වූ බවත්ය.
කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටිය ප්‍රදේශයේදී  පසුගිය 30 වනදා දහවල් 12.30ට පමණ පාතාලයන් බවට සැලකෙන තිදෙනකු ගමන් ගත් මෝටර් රථයක් ඉලක්ක කරගනිමින් ප්‍රතිවාදී පාතාල කණ්ඩායමක් මෝටර් රථයකින් පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි.

 වෙඩි ප්‍රහාරය කළු අජිත් ගමන් කරා යයි ඔත්තු ලද හොන්ඩා ෆිට් වර්ගයේ සුදු පැහැ රථය වෙනුවට හොන්ඩා ෆිට් වර්ගයේ රිදී පැහැ රථය පදවාගෙන ගිය කාන්තාවකට ඉලක්ක වූ අතර ඇය බරපතළ තුවාල ලබා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය.
එලෙස මියගිය රසිකා රොවෙල් නමැති 40 හැවිරිදි කාන්තාවගේ 9 හැවිරිදි දියණිය ද මෙම අවස්ථාවේ වාහනයේ සිටි අතර ඇය කම්පන තත්වයට පත්ව රෝහල්ගත කර වෛද්‍ය ප්‍රතිකාර ලබන්නටද සිදුවිය.
වෙඩි ප්‍රහාරයෙන්  දියණිය බේරී තිබුනේ නූලෙනි.‍


ඇයගේ සැමියා ඉතාලියේ රැකියාවක නිරතච සිටින බව ද පැවැසේ. මිනීමැරුම් නඩුවක සැකකරුවකු වන පාතාලයට සම්බන්ධ බව කියන මිනුවන්ගොඩ කළු අජිත් නමැත්තා අධිකරණයෙන් කර තිබෙන නියෝගයකට අනුව සෑම මසකම අවසන් ඉරිදා දිනයේ බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ එහි පොලිස් පොතේ සිද්ධිය වූ දින උදේ අත්සන් කර ඔහුගේ ගෝලයන් දෙදෙනකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අතර ඔවුන්ගේ වාහනය යයි සැකකර මෙම ඝාතනය කර තිබුණි.

රසිකා මහත්මිය ඇයගේ 9 හැවිරිදි දියණිය ද සමග කඳාන දේවස්ථානයේ පැවැති දේව මෙහයට සහභාගී වී ආපසු නිවෙස බලා මෝටර් රථයෙන් යමින් සිටි අතරවාරයේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණි.
ටී 56 සවන්ක්‍රීය ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර වෙඩි ප්‍රහාරය එල්ල කළ පාතාල කල්ලිය සිද්ධියෙන් පසු පළාගොස් තිබුණි.

වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි සංජීව සිසිර කුමාර හෙවත් අමුණුගම සංජීව නමැති පාතාලයෙකු මෙම ඝාතනය කළ බවට පොලිසිය සොයාගත් අතර සිද්ධියෙන් දින 4 කට පසුව සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඔහුව අනුරාධපුර රාජාංගණයේදී අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත් විය.
ඔහුව කොළඹට රැගෙන එමින් සිටිය දී එම අත්අඩංගුවෙන් මිදී ජාඇල දඬුගම් ඔයට පැනීම නිසා දියේ ගිලී මියගිය බව පොලිසිය පවසා තිබේ.

කැලණිය දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් රාජ්‍යංගණයේදී මෙම පාතාල සාමාජිකයා සිකුරාදා (5) රාත්‍රී අත්අඩංගුවට ගෙන කොළඹ බලා එමින් සිටි අතරවාරයේ මෙසේ පොලිස් අත්අඩංගුවෙන් මිදී දඬුගම් ඔයට පැන ඇතැයි පොලිසිය කියයි.
මියගොස් තිබෙන සැකකරු බියගම පාර වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉලන්දාරි දේවගේ සංජීව සිසිර කුමාර හෙවත් අමුණුගම සංජීව නමැති සිවු දරු පියෙකි.
යුද හමුදා කමාන්ඩෝ බළකායේ සෙබළකු (77540) ලෙස සේවය කරමින් සිටිය දී 2004 වසරේ නීත්‍යනුකූලව ඉවත්වී ඇති සංජීව නමැත්තා පසුව පාතාල ලෝකයේ ප්‍රබලයකු ලෙස මිනීමැරුම් දරුණු අපරාධ ගණනාවකට සම්බන්ධ වූ අයකු යැයි වාර්තා විය.

අමුණුගොඩ සංජීව නමැති පාතාල ප්‍රබලයා රාජාංගණය  පහළ මාරහ වැව හන්දියේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී (5) රාත්‍රී 11.00ට පමණ අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවී තිබුණි. ඔහු ගමන්ගත් ත්‍රිරෝද රථයේ රියැදුරු ජයසුන්දර පද්මසිරි (38) නමැත්තා ද මේ සමඟම අත්අඩංගුවට පත්වූ අතර සැකකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කළු අජිත් ඇතුළු ඔහුගේ ගෝලයන් තිදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමට ගිය බවත් එහිදී වැරදීමකින් වෙනත් කාර් රථයකට වෙඩි ප්‍රහාරය එල්ලවී එම කාර් රථය පදවාගෙන ගිය කාන්තාව මියගිය බව පසුව දැන ගැනීමට ලැබුණු බවත් සංජීව නමැත්තා ප්‍රකාශ කර ඇත.

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන දෙමටගොඩ සංජීව නමැත්තා තමාට මෙම මරණ කොන්ත්‍රාත්තුව දුන් බවත් ඒ සඳහා ලක්ෂ 10ක මුදලක් ගෙවන බවට පොරොන්දු වූ බවත් අමුණුගොඩ සංජීව නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත.

කළු අජිත් නමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනාට වෙඩි තැබීමට ගිය තිදෙනා සිටින ස්ථාන පෙන්වීමට හැකි යැයි අමුණුගොඩ සංජීව නමැත්තා ප්‍රකාශ කළ නිසා පොලිස් කණ්ඩායම ඔහු රැගෙන මිනුවන්ගොඩ බලා පොලිසිය සමග පිටත්වූ බව පොලිසිය පවසයි. මෙසේ මිනුවන්ගොඩ බලා යන අතරවාරයේ තමාට හදිසි ශරීර කෘත්‍යයක් කිරීමට අවශ්‍ය බව අමුණුගොඩ සංජීව නමැත්තා පවසා සිටි නිසා ජාඇල දඬුගම් ඔය පාලම අසලින් පොලිස් රථය නතර කර ඔහුට එම කටයුත්ත කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇති  අතර ඔහුගේ ආරක්ෂාවට උපපොලිස් පරීක්ෂක සමීර මංජුල සහ කොස්තාපල් අරවින්ද (88617) යන මහත්වරුන් ඒ අසලින්ම සිට ඇත. ඒ අවස්ථාවේ විලංගු දමා සිටි සංජීව
කොස්තාපල් අරවින්දගේ පපු ප්‍රදේශයට හිසෙන් වැරෙන් පහර දීමෙන් කොස්තාපල්වරයා බිම ඇද වැටී ඇති බවත් ඒ සමගම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී අත්විලංගු පිටින්ම දඬුගම් ඔයට පැන ඇති බවත් පොලිසිය කීය.

ඒ සමගම ක්‍රියාත්මක වූ උපපොලිස් පරීක්ෂක මංජුල සහ කොස්තාපල් අරවින්ද ඔයට පැන සංජීව නමැත්තා බලවත් පරිශ්‍රමයක් යොදාගෙන කෘත්‍රිම ස්වසනය ලබාදී 1990 අංකයට කතා කර සීදුව පොලිසියේ ස්ථානගත කර තිබූ ගිලන් රථ සේවයට කතා කර එම ගිලන් රථයෙන් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරු පරීක්ෂා කර බලා ඔහු මියගොස් ඇති බව දැනුම් දුන් බව ද පොලිසිය සඳහන් කරයි.
මෙසේ මියගිය අමුණුගොඩ සංජීව නමැත්තාට එරෙහිව දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයන් රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයට වෙඩි තබා උදමිට සමරේ සහ ගම්පහ ඔමන් නමැත්තට වෙඩි තැබීම, කැලණිය
තොරණ හන්දියේදී පොඩේ නමැත්තෙක් ඝාතනය කිරීම, ගිනිඅවි සහ බෝම්බ ළඟ තබාග නීම, කැලණිය වනවාසල ප්‍රදේශයේදී 2010 සැප්තැම්බර් මාසයේ 2 වැනිදා පෞද්ගලික බැංකුවකට අයත් කෝටි 7කට ආසන්න මුදලක් කොල්ලකෑම සහ කැකිරාව ප්‍රදේශයේ නිවෙසකට කඩාවැදී දේපොළ කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ බාලවයස්කාර ළමයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි. රසිකා රොවෙල් නමැති කාන්තාවට වෙඩි තැබූ ටී 56 ගිනි අවිය පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතට පත්කර තිබෙන බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
කාන්තාවගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ සීසීටීවී දර්ශනය පහතින්