යහපාලන ආණ්ඩුව නින්දිත සහ අපකීර්තිමත් එකක් බවත් , මේ ආණ්ඩුව නිසා එක්සත් ජාතික පක්ෂය විනාශ වූ බවත් , පිරිහී ගිය බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී අද  සවස පැවසීය .

තමා වසර ගනනාවකට පසුව නිවාඩුවක් ගත කිරීම සඳහා අප්‍රිකාවේ රුවන්ඩා වෙත ගොස් සිටි බවත් , එහිදී වන සතුන් නැරඹීම සඳහා එහි විශාල කැළයක් මැද සිටි බවත් , එහි ජංගම දුරකථන සඳහා සංඥා නොමැති නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව තමන්ට හරිහැටි නොදන්නා බවත් පැවසීය .

යහපාලන ආණ්ඩුව අවසන් කර නව අගමැතිවරයකු පත් කර ඇති බව තමන් රුවන්ඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් දැන ගත් බවත් , තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වීමට නම් කොන්දේසි තුනක් ඉටු විය යුතු බවත් පැවසීය .


පළමුව තමන්ට මහින්ද පාර්ශවයෙන් ආරාධනාවක් සිදු කළ යුතු බවත් , දැනටමත් තමන්ට එසේ සිදු කර ඇත් ද යන්න පිළිබඳව තවමත් තමන් නොදන්නා බවත් පැවසූ වසන්ත සේනානායක මහතා ‘මට පොළොන්නරුව ජනතාවට සේවය කිරීම සඳහා සුදුසු තනතුරක් අවශ්‍යයි. ‘ යැයි  ඔහු කීවේය. තුන් වෙනුව පොළොන්නරුවේ තම ජන්ද දායකයින්ගේ අවසරය ද ඒ සදහා අවශ්‍ය බවත් පැවසීය . 

පැවති යහපාලන රජය තමන්ට නිසි පරිදි නොසැලකූ බවත් , තමන්ගේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට අදාළ විෂයන් තවමත් ගැසට් කර නොමැති බවත් පැවසීය .  කෙසේ වෙතත් තමන් වර්තමාන දේශපාලන තත්ත්වය දැන ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස , කරූ ජයසූරිය , රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ද හමු වී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය .

රනිල් වික්‍රමසිංහ මහතා 2030 වනතුරු එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැදී සිටීමට ගත් තීරණය පසෙකලා මෙම අවස්ථාව උපයෝගී කර ගෙන පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට හෝ කරූ ජයසූරිය මහතාට පැවරුව හොත් තමන් මෙන්ම පාක්ෂිකයන් ද , රටේ මධ්‍යස්ථ ජනතාව ද යළිත් පක්ෂය වටා එක් රොක් වනු ඇති බවත් , දීර්ඝ කාළයක් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ රැඳී සිටීම ජනතාව ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය . එහිදී බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය වින්සන්ට් චර්චිල් මහතා දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු එරට වැසියන් ප්‍රතික්ෂේප කළ බවත් පෙන්වා දුන්නේය .

ඒ මහතා පිළිගැනීම සදහා පොළොන්නරුව ප්‍රදේශයේ එක්සත්  ජාතික පක්ෂයේ පාක්ෂිකයන් , ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරු  පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ  සිටියහ.

ටී.කේ.ජී.කපිල