"නිකසළ රටක් - නිකසළ දුම් රිය මගක් "තේමාවෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන, දුම්රිය මාර්ග හා එහි වටපිටාවන් පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආශ්‍රිතව වැඩසටහනක් පසුගිය 07 වන දින සුරකිමු දුම්රිය ව්‍යාපාරය, දුම්රිය මඟීන්ගේ නිල ෆේස් බුක් සමූහය, වේයන්ගොඩ මඟී කමිටුව හා
වේයන්ගොඩ යුධ හමුදා සෙබළුන්ගේ ඇතුළු විවිධ සංවිධාන රැසක සාමාජිකයින්ගේ එකමුතුවෙන් සාර්ථකව පවත්වා තිබේ.  


මෙහිදී දුම්රිය ස්ථානය ආශ්‍රිතව රුක් රෝපණ ව්‍යාපෘතියක් හා නිදහස් පුස්තකාල පහසුකම් ආරම්භ කිරීමක්ද, දුම්රිය වේදිකා හා අවට පරිසරය පිරිසිදු කිරීමට සමගාමීව එලෙස අනිසි ලෙස කැළි කසළ බැහැර කිරීම් අවම කිරීමේ හා වලක්වාලීම සඳහා මඟී ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දැන්වීම් පුවරු ප්‍රදර්ශණය කිරීමේ ව්‍යාපාරයක්ද සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට වේයන්ගොඩ දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමලාල් මහතා,නියෝජ්‍ය ගමනාගමන අධිකාරී පොල්වත්තගේ මහතා, සහකාර ප්‍රවාහන අධිකාරී ඉන්දික වීරකෝන් මහතා, සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරයේ ලේකම් නයනක රන්වැල්ල මහතා, සුරකිමු දුම්රිය ව්‍යාපාරය වෙනුවෙන් රුවන් පතිරණගේ මහතා ඇතුළුව වේයන්ගොඩ යුධ හමුදා කඳවුරේ හා වේයන්ගොඩ මඟී සංගම් සාමාජිකයින්,වේයන්ගොඩ බණ්ඩාරණායක මධ්‍ය මහා විද්‍යාලීය සිසුන් මෙන්ම දුම්රිය මඟීන්ගේ නිල ෆේස්බුක් සමූහයේ සාමාජිකයින් රැසක් එකතු වීම විශේෂත්වයකි.