මේ වනවිට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප හිතවාදී පිරිස් රැඳී සිටින අරලියගහ මන්දිරයට බාහිරින් ආ දෙදෙනෙකු නිසා ටික වේලාවකට උනුසුම් තත්වයක් හටගෙන තිබේ.
තමන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ අය බවත්  කාර්යාලීය උපකරණ පිළිබදව
සටහන් තබා තිබෙන  ඉන්වෙන්ට්‍රිය රැගෙන යාමට අවශ්‍ය බවත් ඔවුන් දන්වා ඇත. ඒවා පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී සැකසහිත දෙදෙනෙකු යයි කල්පණා කළ එජාප පිරිස හා  ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබෙන නමුත් එම දෙදෙනා සිය අනන්‍යතාවය ඔප්පුකිරීමට අසමත්ව ඇත.
ඔවුන් ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් තොරව අරලියගහ මන්දිරයට ඇතුල්වී තිබෙන බවද හෙලිව ඇත.
මෙම අවස්තාවේ ඇතුළේ පිරිස සහ ඔවුන් අතර ගැටුමක් ඇතිවීම වළකා සුරක්ෂිතව කාර්යාල භූමියෙන් පිට කිරීමට අරලියගහ මන්දිර ආරක්ෂක නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මේ බව රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයකින් වාර්තා කරන ලදි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ගැන අගමැති මහින්ද රාජපක්ෂගේ අග්‍රාමාත්‍ය ලේකම්ද දැනුවත්වී තිබෙන අතර ඔහු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනයක් සිදුවී ඇති බවට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් එහි දැක්වෙන්නේ වෙනස් කතාවකි.
අරලියගහ මන්දිරයේ සේවය කළ නිලධාරීන් පිරිසක් මාරු කර යවා ඇති බවත් ඒ නිලධාරීන්ගේ බඩු බාර දීමට ගිය අවස්ථාවේ පුද්ගලයින් පිරිසක් ඇවිත් බැන වැදී තර්ජනය කර ඇති බවත් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතාගේ නිවේදනයෙන් කියැවිණි.