පසුගිය සති අන්තයේ පුද්ගලික රූපවාහිනී නාලිකාවකට අයත් පුවත්පතක් හා වෙනත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබූ පරිදි  ජාතික රූපවාහිනියේ ලාංඡනය වූ සැළලිහිණියා වෙනස් කර ඒ වෙනුවට ආර් හා යූ අකුරු සහිත අමුතු සංකේතයක් යොදා ඇති කතාව
කෙප්පයක් බව සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය

නිවේදනයකින් දන්වා සිටී.
තිස් හත් වසරක් තිස්සේ රැකගෙන ආ එකී අභිමානයේ සංකේතය අංශුවකින් හෝ වෙනස් නොකරන බවත් තම ආයතනයේ නව ප‍්‍රවර්ධන ක‍්‍රමෝපායයන් නිසි ලෙස වටහා නොගත් ඇතමුන් වෙනත් මාධ්‍ය මගින් සාවද්‍ය ප‍්‍රචාර පතුරා ඇති බවත් ඇය දන්වා ඇත.

රූපවාහිනියේ නමින් බිදී ආ ”රූ ඩිජිටල්” නම් වූ උප සන්නාමය භාවිත කරන්නේ ප‍්‍රවර්ධන උපායමාර්ගය සඳහා පමණක් බවත් එහි හැඩතල භාවිත කරමින් රූපවාහිනී ප‍්‍රවෘත්ති ඇතුළු ඇතැම් වැඩ සටහන් ප‍්‍රවර්ධනයේදීද මෙම උපායමාර්ගය යොදාගෙන තිබෙන බව කියන ඇය ඒ සඳහා සමාජ අවධානයක් දැනටමත් දිනා ඇති බව දක්වා සිටී.

ජාතික රූපවාහිනිය මීට වසර 10 කට පෙරත් ”රූ එන්ටර්ටේන්මන්ට්” යන සන්නාමයෙන් ප‍්‍රවර්ධනය කළේ ප්‍රධාන සන්නාමයට හානියක් හෝ අනතුරක් නොකර බව දක්වා සිටින ඇය ‘රූපවාහිනියට එරෙහි සාවද්‍ය ප‍්‍රචාර සීමිත පිරිසකගේ පටු උවමනාවන් බව අපි දනිමු‘ යයි නිවේදනයේ දක්වා ඇත.