හතළිස් ලක්ෂයක් පමණ වූ පාසල්  දරුවන්ගේ සෞඛ්‍යය අනතුරේ හෙළමින්, නියමු ව්‍යාපෘතියක් සේ පාසල් පද්ධතියට ප්ලාස්ටික් ඩෙස්ක් හා පුටු හඳුන්වාදීමේ සැලසුමක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව උපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය එකමුතුවේ සංවිධායක මාලින්ද රාජපක්ෂ හෙළි කරයි.  ඊයේ (17දා)
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව හෙළි කළේය.  එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය සෑම අතකින්ම වාංචා දූෂණ කරමින් ඉන්නවා. මේ වෙද්දී ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන්ට ඩෙස්ක් හා පුටු තියෙනවා.

යම් යම් මදි පාඩු තියෙනවා. සිසුන්ගේ සෞඛ්‍ය සඳහා හිතකර දැව භාණ්ඩ ඩෙස්ක් හා පුටු සාදන්න යොදවන පුළුවන්. එහෙම තියෙද්දී අධ්‍යාපන අමාත්‍යාංශය ගිය අවුරුද්දේ සූදානම්  වූණා පාසල් සිසුන්ට ප්ලාස්ටික් ඩෙස්ක් සහා පුටු හඳුන්වාදීමට යෝජනා කරන්න. රජයට සම්බන්ධ ඇමැතිවරයෙක් ඒ සඳහා අවශ්‍ය ඩෙස්ක් හා පුටු ගෙනැල්ලා ගබඩාකර කරගෙන ඉක්නවා.

ඒ ගබඩා තියෙන අතරතුරේදී කැබිනට් මණ්ඩලය මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. 2019 වසරේ ඉඳලා ප්ලාස්ටික් ඩෙස්ක් හා පුටු පාසල් පද්ධතියේ භාවිතයට ඇතුළත් කරන්න නියාමන ව්‍යාපෘතියකට නැවතත් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට උත්සාහ කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගැයුම් කමිටුවක් පත් කර තියෙනවා නියාමන ව්‍යපෘතියක් සඳහාත් ප්ලාස්ටික් ඩෙස්ක් හා පුටු සඳහා අවසර දෙන්න කියලා. මේවා සහගහන අපරාධ.

මේ රටේ දරුවන්ට මේ කරන්න හදන්නේ අපරාධයක්. දරුවන්ගේ සෞඛ්‍ය පිළිබදව තුටුවකටවත් මායිම් නොකර හතළිස් ලක්ෂයක් වූ දරුවන් විකුණාගෙන කන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ වැඩේට අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා සහ අතිරේක ලේකම්වරයා සම්බන්ධයි. ජනාධිපතිතුමනි මේ ගැන විධිමත් පරික්ෂණයක් කරන්න.

-සවනි ශේශාධි-