මේ වනවිට රටේ වෙළෙඳපොළ අවුල්වීමට සෘජුව බලපාන කරුණක් බවට මිල සූත්‍රය අනුව අස්ථාවර කර ඇති ඉන්ධන මිල හේතුවී ඇත. වරින්වර සිදුවන මිල සංශෝධන වලින් පසුව කෑම බීම ප්‍රවාහනය ඇතුළු එදිනෙදා ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවාවන්හි මිල වෙනස්වීම නිසා සාමාන්‍ය ජනතාවට ජීවත්වන්නට සිදුව ඇත්තේ අවදානමකිනි.
කොයි වෙලාවෙ අහවල් එකේ මිල වැඩිවේද අතේ සතේ නැතිවේද
යනුවෙන් මේ ගැන මිනිසුන් කල්පණා කරන බවවත් මිල සූත්‍රය ආදේශ කරවන අය නොදන්නා අතර ඊයේ හෙළිවූයේ මුදල් ඇමතිවරයා පවා මිල සූත්‍රය ගැන හරිහැටි නොදන්නා බවයි.
මෙම මිල සූත්‍රය අනුව සිදුවන වෙනස්කම මුදල් අමාත්‍යංශයට අයත් නිලධාරීන් කණ්ඩායමක් මගින් සකස් කර තමාට දැනුම් දෙන බව

මුදල් ඇමති මංගල කියා සිටියේය. ඔහුට වාර්තා වන පරිදි සූත්‍රය අනුව ඉන්ධන මිල දිගටම වැඩිවන බවත් ලබන 2019 පෙබරවාරියේ පමණ අඩුවීමක් අපේක්ෂා කරන බවත් එහිදී කියා ඇත.
 ඊයේ (09) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ,
"ඒකෙ මූලික පදනම තමයි සිංගප්පූරු ෆ්ලාට්ස්ට් ප්‍රයිස් එකයි ඩොලරයේ අගයයි. ඒ දෙක ගොනු කරගෙන තමයි ඒක හැදෙන්නේ. ජනතාව අවුල් වියවුල් වෙන්න විදියක් නෑ. කරන දේවල් හැමදේම අපි තේරුම් ගන්න ඕනේ නැහැනේ.
අපි දොස්තර මහත්මයෙක් නොවුණත් සමහර වෙලාවට අපි දන්නවා ලෙඩේට අදාළ විශේෂඥයා සූත්‍රයක් දුන්නොත් ඒක ඇත්තක් කියලා. ලෝක තෙල් මිල වැඩි වෙනකොට මෙය වැඩි වෙනවා. රුපියල ශක්තිමත් වෙනකොට ආයෙමත් මිල පහළ යනවා.‘
මෙහිදී ඇයි ජනතාවට මේගැන හෙළිකරන්න බැරි යයි මාධ්‍යවේදියෙකු විමසන ලදුව
 ඇමතිවරයා මෙසේ කියා තිබේ.
‘ඔය මිල සූත්‍රය කිව්වොත් තමුන්නාන්සෙලාගෙ මොළේ ඔයිටත් වඩා අවුල් වෙයි. මොකද මටවත් ඒ මිල සූත්‍රය තේරෙන්නෙ නැහැ.‘