උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් රටවලට ගොස් ගිවිසුම් කඩ කරමින් යළි මෙරට නොපැමිණි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු 486 දෙනාගේ තොරතුරු නුදුරේදීම හෙළි කිරිමට නියමිත බව  වාර්තා වේ.
ගිවිසුම් කඩකළ වැඩිම කථිකාචාර්යවරු පිරිසක් නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන බවත් එම විශ්වවිද්‍යාලයෙන් රුපියල් මිලියන 26ක වියදමක් දැරූ කථිකාචාර්යවරයකු ද ඒ අතර සිටින බවත් ආරංචි මාර්ග පැවසීය. ඒ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් රුපියල් මිලියන 23ක් වියදමක් දරා ඇති කථිකාචාර්යවරයකු පිළිබඳවද

තොරතුරු අනාවරණය වී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයෙන්  රුපියල් මිලියන 24ක්, විවෘත විශ්ව විද්‍යාලයෙන් රුපියල් මිලියන 13ක් සහ රුපියල් මිලියන 9ක්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රුපියල් මිලියන 10ක්, මොරටුව විශ්වවිද්‍යාලයෙන් රුපියල් මිලියන 8ක්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් රුපියල් මිලියන 8ක් ලෙසින් මෙරට සෑම විශ්වවිද්‍යාලයකින්ම පාහේ එක් කථිකාචාර්යවරයකු සඳහා මෙවැනි අතිවිශාල මුදලක් දරා ඇතැයිද පැවැසේ. කථිකාචාර්යවරුන්ගේ විදෙස් උසස් අධ්‍යාපනය සඳහා වන පාඨමාලා ගාස්තු, සංචාරක වියදම් සහ වෙනත් වියදම් සඳහා මෙසේ මිලියන ගණනින් විශාල මුදලක් එක් ආචාර්යවරයකු සඳහා දරා ඇති අතර ලෑබී ඇති තොරතුරුවලට අනුව රුපියල් මිලියන 800කට අධික මුදලක් එසේ විදෙස්ගත වූ කථිකාචාර්යවරු වෙනුවෙන් වියදම් කොට තිබේ.

මොවුන් සම්බන්ධව නීති මගට බැසීමට සූදානම් වීමත් සමඟ ගිවිසුම් කඩකළ පිරිස අතරින් ඇතැම් දෙනා එම මුදල් වාරික වශයෙන් ගෙවා දැමීමට ඉදිරීපත් වුවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙය නීති විරෝධී ගිවිසුම් බිඳ දැමීමක්ය යන දැඩි මතයේ සිටින බව ආරංචි මාර්ග පැවැසීය. කෙසේ වෙතත් මෙසේ ගිවිසුගතව විදෙස්ගත වී යළි මෙරටට නොපැමිණි කථිකාචාර්යවරු පිළිබඳ අදාළ විශ්ව විද්‍යාලවලින් තොරතුරු ලබාදීමේ පමාවක් පවතින බව ද වාර්තා විය.