මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිට වලාකුළු බැම්ම  අසලින් යෝජිත අපජල නළ එළීමට නියමිතව තිබු ප්‍රදේශය තුළ පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැණීම්වලදී පුරාවිද්‍යා සාධක මතුවීම නිසා ඒ පිළිබඳ තවදුරටත් කැණීම් සිදුකළ යුතු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරී උපාලි ජයසිංහ මහතා පැවැසීය. මේ අපජල නළ එළීම සඳහා මහනුවර වැව අසල වලාකුළු බැම්ම ආසන්නයේ කොන්ත්‍රාත්
සමාගමක් විසින් කානු කැපීමේදී සමාජ ක්‍රියාකාරිකයකු වූ තුෂාර ස්වර්ණතිලක මහතා ඇතුළු පිරිසක් විරෝධය දක්වා බලහත්කාරයෙන් එම කානු වසා දැමීය.

ඉන් අනතුරුව මෙයට අදාළ පාර්ශ්ව විසින් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව යළි කානු කැපීම සිදුකළ විට එවරද තුෂාර ස්වර්ණතිලක මහතා ඇතුළු පිරිස යළි එම කානු බලහත්කාරයෙන් වසා දැමිනි. ඉන්පසු දියවඩන නිලමේවරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන  කීපයක නිලධාරීන් එක්ව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මේ වලාකුළු බැම්ම අසලින් අඩි දහයෙන් දහයට කැණීම්

සිදුකර පුරාවිද්‍යාත්මක සාධක ඇත්දැයි පරික්ෂා කර තීරණයක් ගැනීමට සියලු පාර්ශ්වයන් එකඟ විය.

 ඒ අනුව ඊයේ (10) දින සිදුකළ කැණීම්වලදී වලාකුළු බැම්ම අසල පුරාවිද්‍යා නටබුන් බවට පිළිගත හැකි සාධක මතුවීම නිසා තවදුරටත් කැණීම් සිදුකිරීමට පුරාවිද්‍යා නිලධාරීන් තීරණය කර තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණිම් නිලධාරී උපාලි ජයසිංහ මහතා සඳහන් කළේ මෙම අපජල ව්‍යාපෘතිය සඳහා කානු කැපීමට එම කොන්ත්‍රාත් සමාගමට පුරා දෙපාර්තමේන්තුව කිසිදු අවසරයක් දී නොමැති බවයි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මේ කැණීම් සිදුකළේ පොළොව අභ්‍යන්තර ඇති පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳව ගවේෂණයක් කිරීමට බවද ඔහු පැවැසීය. නමුත් දැනට කැණිම් සිදුකිරීමේදී පැරැණි ඉදිකිරීමක ශේෂයන් හමුවූ බවත් එය කුමන ඉදිකිරීමක්ද යන්න ඉදිකිරීම් කැණීම්වලින් අධ්‍යයනය කළ හැකි බවත් ඔහු සඳහන් කළේය. මෙම ඉදිකිරීම් ලක්ෂණ අනුව මෙම ස්ථානයේ පැරැණි ඉදිකිරීම් නටබුන් බවට සැලකිය හැකි සාධක දැන් මතුව ඇතැයිද ඔහු පැවැසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ තුෂාර ස්වර්ණතිලක මහතා කීවේ ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මේ අසුචි අප ජලනළ එළීම පිළිබඳ තමා මුල සිටම විරුද්ධත්වය පළකළ බවය. මේ නළ එළීම සඳහා වලාකුළු බැම්ම අසලින් කානු කැපීම හේතුවෙන් වලාකුළු බැම්මද අනාරක්ෂිත වන බව ඔහු කීය. තමාගේ විරෝධතාව නිසා මේ පිළිබඳ සාකච්ඡා දෙකක් පැවැත්වුවත් ඉන් එකඟතාවට පැමිණීමට නොහැකි වූ නිසා අවසාන සාකච්ඡාවේදී සියලු පාර්ශ්වයන් ඒකාබද්ධව කැණීම් කටයුතු සිදුකිරීමට තීරණය කළ බවද සඳහන් කළේය. එම කැණීම්වලදී පුරාවිද්‍යා සාධක මතුවීම නිසා තමා සනහන් කළ සියලු කරුණු සනාථ වී ඇතැයි ඔහු කීය. එම නිසා තමාට පරිභව කළ සියලු දෙනාටත් නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු විපක්ෂ නායකවරයාටත් මෙම කැණීම් සියැසින් දැක මෙම අපජල ව්‍යාපෘතිය වෙනත් ප්‍රදේශයකට ගෙන යෑමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

-ගයා ශ්‍රි කාරියවසම්-