https://www.gossiplankanews.com/2018/10/khashoggi-turkey-saudi.html
මරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ලේඛකයෙකු වශයෙන් සේවය කළ සවුදි අරාබි ජාතික ජමාල් කිෂෝගි නමැති මාධ්‍යවේදියෙකු තුර්කියේ සවුදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන්වූ සිද්ධියක් නිසා මේ වනවිට ආන්දෝලනයක් මතුව තිබේ.
ඉකුත් 2 වැනිදා ප. ව. 1.15ට පමණ ඔහු එම කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ දර්ශන සීසීටීවී පටිගත කිරීම් වලින්ද තහවුරුව ඇති අතර ඔහු නැවත එන දර්ශන කිසිවක් කිසි තැනක සටහන්ව නැත. ඔහු එතැන් සිට
දැකගැනීමට නොමැත.
ඔහු සවුදි රජු හා සවුදියේ විවිධ ක්‍රියාපිලිවෙත් දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියෙකු වූයේය.
ඇෆ්ගනිස්තානයේ සෝවියට් ආක්‍රමණය ඔසාමා බින් ලාඩන්ගේ නැඟීම වැනි මුල්පෙළේ ජාත්‍යන්තර තොරතුරු ඔහු වාර්තා කළේය. සවුදි රජයට සම්බන්ධව උපදේශකයකු ලෙසද කටයුතු කර ඇති ඔහු පසුව විරසක විය. ඉකුත් වසරේදී ස්ව කැමැත්තෙන්ම රටින් පිටවූ ජමාල් ජීවත් වූයේ අමෙරිකාවේය.
මේඅතර ඔහු මුල් විවාහයෙන් ඉවත්වී මේ දිනවල නීතියෙන් නැවත විවාහ වන්නට සූදානමින් සිටියේය.

අතුරුදන්වීම සිදුවූ එම කාර්යාලය අසළට පෙම්වතිය සමග ඔහු ගොස් ඇත්තේ සිය සවුදි පුරවැසිකමට අදාළව දික්කසාදයට අදාළ ලියවිලි භාර දීමටය. නිල රාජකාරියට අදාළව ඇතුළු විය හැක්කේ ඔහුට පමණක් නිසා ඔහු පෙම්වතියට රථගාලේ සිටින්නට කියා එහි ඇතුළුවී ඇත.
නමුත් සවුදි රජයේ අප්‍රසාදයට ලක්වූ අයෙකුවූ බැවින් ඔහු එහි යාමට සැකයක් බියක් තිබී ඇත. ඒ නිසා 2 වනදා ගොස් ඇත්තේ කරදරයකින් තොරව ආපසු පැමිණීමට හැකිවෙතැයි සිය පෙම්වතියට දන්වමින් තම දුරකථන දෙකද බලාගන්නට භාරදීමෙන් පසුය. තමා ආපසු නොපැමිණියහොත් තුර්කි

ජනාධිපති ටයිප් එර්ඩොගාන්ගේ උපදේශකයාට දැනුම් දෙන ලෙස ඔහු ඇගෙන් ඉල්ලා තිබිණි.

කෙසේ නමුත් අසාමාන්‍ය ලෙස නැවත පැමිණීම ප්‍රමාදවීම සමග ඇයට සැක ඇති විය.ඔහු පැමිණෙන තෙක් පැය 10ක් කාර්යාල පරිශ්‍රය පිටත රැඳී සිට ඇති ඇය පසුදා උදෑසන ද එහි පැමිණ ඇත. එහෙත් කාර්යාලයෙන් දන්වා ඇත්තේ ඔහු පැමිණි දිනයේම ටික වේලාවකින් නික්ම ගිය බවයි. නමුත් සිද්ධිය පිලිබඳ ඇතිවූ සැකය මත පොලිසියට දන්වා පරීක්ෂණ ඇරඹීමේදී සවුදි කොන්සල් කාර්යාලයේ සීසීටීවී දර්ශන කිසිවකින් ඔහු නික්ම ගිය සටහනක් සොයාගන්නට ලැබී නැත.
පරීක්ෂණ පවත්වන නිලධාරීන් දන්වා ඇත්තේ ඔහු මෙම කාර්යාලය තුළදී මරා දමා කිසියම් අයුරකින් සිරුර පිටතට ගෙන යන්නට ඇති බවයි.
සිද්ධිය වූ දිනයේ ජමාල් එයට ඇතුළු වූ වේලාවට පසුව සැකසහිත සවුදි ඒජන්තයන් 9 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තුර්කියේ සවුදි කොන්සල් කාර්යාලයට අවස්ථා කිහිපයකදී විවිධ වාහන වලින් පැමිණීම හා පිටවීම සිදු කර ඇති අතර එක් වෑන් රථයක් කොන්සල් කාර්යාල ආරක්ෂක කලාපයට ඇතුලුවී නැවත එලියට යාමට අවසර ලබන බවද සීසීටීවී වාර්තා මගින් තහවුරු වේ.
මෙම පිරිස නවාතැන්ගෙන ඇත්තේ කොන්සල් කාර්යාලයට නුදුරින්ම පිහිටි මූවන්පික් හෝටලයේ වන අතර ඔවුන්ගේ වාහන ගමන් කරන්නේ ඒ වෙතයි. ඔවුන් එදින රාත්‍රි පුද්ගලික ජෙට් යානයකින් නැවත සවුදියට ගමන් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස සැකයට භාජනය වී තිබේ.

මොවුන් පිරිස ජමාල් පැහැරගෙන ගොස් මරන්නට හෝ කොන්සල් කාර්යාලයේ මරාදැමූ ජමාල්ගේ මළ සිරුර රැගෙන යන්නට ඇති බවට ප්‍රබල සැකයක් මතුව ඇත.

මේ වනවිට කොන්සල් කාර්යාලයට සීල් තබා ඇති අතර සිද්ධියට අදාළව පරීක්ෂණ අරඹා ඇත. කෙසේ වෙතත් සවුදි රජය මේ දක්වා පරීක්ෂණ වලට යහපත් ලෙස සහය පළ කර නැත.

මේ ගැන මහජන විරෝධතාද මේ වනවිට මතුව තිබේ. අතුරුදන් වොෂින්ටන් පුවත්පතේ මාධ්‍යවේදියා වෙනුවෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ද අවධානය යොමු කර ප්‍රකාශ කිහිපයක් නිකුත් කර ඇත. සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ට්‍රම්ප් සවුදි රජයට බල කර ඇත. එසේ නොවන්නේ නම් අප්‍රසන්න දේවල් සිදුවිය හැකි බවටද ඔහු බලකර දන්වා ඇත.
මේ වනවිට සවුදි කොටස් වෙළෙඳපොළද කඩා වැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.