කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (30) දහවල් 12.30ට පමණ පාතාලයන් බවට සැලකෙන තිදෙනකු ගමන් ගත් මෝටර් රථයක් ඉලක්ක කරගනිමින් ප්‍රතිවාදීන් පාතාලයන් කණ්ඩායමක්
මෝටර් රථයකින් පැමිණ එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ඒ අසලින් අමෝටර් රථයක් පදවාගෙන ගිය කාන්තාවකට වැදී ඇය බරපතළ තුවාල ලබා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව කඳාන පොලිසිය කියයි.
කාන්තාවගේ 9 හැවිරිදි දියණිය ද මෙම සිද්ධියෙන්

කම්පන තත්වයට පත්ව රෝහල්ගත කර වෛද්‍ය ප්‍රතිකාර ලබන බව කඳාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ එම දියණිය බේරී ඇත්තේ නූලෙනි.
ප්‍රතිවාදී පාතාල කල්ලියක් විසින් එල්ල කරනලද වෙඩි ප්‍රහාරය මැද්දේ කාර් රථයේ ගමන්ගත් පාතාලයන් බව කියන තිදෙනා වේගයෙන් රිය පදවාගෙන නිරුපද්‍රිතව කඳාන පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ ජාඇල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි රසිකා රැචෙල් (40) නමැති දෙදරු මවකි.

රසිකා මහත්මිය ඇයගේ 9 හැවිරිදි දියණිය ද සමග කඳාන දේවස්ථානයේ පැවැති දේව මෙහයට සහභාගී වී ආපසු නිවෙස බලා මෝටර් රථයෙන් යමින් සිටි අතරවාරයේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති බව එම පොලිස් නිලධාරියා කීය. ඇයට අවුරුදු 12ක පුතකු ද සිටියි. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ (රාගම) ප්‍රතිකාර ලබමින් සිටි රසිකා මහත්මිය ඊයේ සැත්කමකට ද ලක් කර ඇය බේරා ගැනීමට වෛද්‍යවරුන් බලවත් උත්සාහයක යෙදී ඇති බව කියති. ඇයගේ සැමියා ඉතාලියේ රැකියාවක නිරතච සිටින බව ද පැවැසේ. මිනීමැරුම් නඩුවක සැකකරුවකු වන පාතාලයට සම්බන්ධ බව කියන මිනුවන්ගොඩ කළු අජිත් නමැත්තා අධිකරණයෙන් කර තිබෙන නියෝගයකට අනුව සෑම මසකම අවසන් ඉරිදා දිනයේ බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ එහි පොලිස් පොතේ ඊයේ උදේ අත්සන් කර ඔහුගේ ගෝලයන් දෙදෙනකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

මෙම පාතාලයන් තිදෙනා ඉලක්ක කරගනිමින් ප්‍රතිවාදී පාතාල කල්ලියක් වෙඩි තැබීමේ දී එම ඉලක්ක වැරැදී ගොස් මෝටර් රථයක් පදවාගත යමින් සිටි කාන්තාවට වැදී ඇති බව පරික්ෂණවලින් හෙළිවිණි යැයි ද පොලිසිය කියයි.
ටී 56 සවන්ක්‍රීය ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර වෙඩි ප්‍රහාරය එල්ල කළ පාතාල කල්ලිය පළාගොස් ඇතැයි පොලිසිය කීය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය. ජාඇල විශේෂ තිස්ස කොටින්කඩුව)