https://www.gossiplankanews.com/2018/10/gampaha-rocket-student.html#more
කිලෝ මීටර් 20ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 මූල්‍ය පරිත්‍යාගයක්
සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ(22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමීව පැවැති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර, එහි දී සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා එම රොකට්ටුව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත්, රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් සඳහන් කළේ ය.

ඒ අනුව එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස මෙම රුපියල් ලක්ෂ 10ක මුදල ලබා දීම සිදු කෙරිණි.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික නිලධාරීන් ද මෙම අවස්ථාවට කැඳවා තිබුණු අතර රොකට්ටුව ගුවන් ගත කිරීම සඳහා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට උපදෙස් දුන්නේ ය.


 රොකට්ටුව නිර්මාණය කළ ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි මෙසේ පවසා තිබේ..

“මම ඉංජිනේරු තාක්ෂණවේද අංශයෙන් උසස්පෙළට පෙනී සිටියා මේ වසරේ. දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. පාසලේ සියවස් සැමරුමට ප්‍රදර්ශනයක් කරනවා කියලා මටත් නිර්මාණයක් කරන්න ධනුෂ්ක මිනුවන්දෙණිය සර් කීවා. මම කීවා දැනට රොකට් එකක් මම ගෙදර ඉඳලා හදාගෙන යනවා, ඒක ඉදිරිපත් කරන්නම් කියලා.

සර් ඒකට අවස්ථාව දුන්නා. මේ සඳහා රවීන්ද්‍ර දිවුල්වැව සර්ගෙන් සහ ප්‍රසාද් චතුරංග සර්ගෙන් උපදෙස් ගත්තා. මම අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගත්තා. මිතුරකුගේ තාත්තා මාර්ගයෙන් ඇලුමිනියම් පිළිබඳ අවශ්‍ය තොරතුරු සොයාගත්තා. මේක හදන්න මට මාස දෙකක් විතර ගියා. පැයට කිලෝමීටර් 750ක වේගයෙන් කිලෝමීටර් 20ක් අහසට යවන්න පුළුවන්. ඒ සඳහා කලින් ක්‍රියාත්මක කරලා බැලුවා. රු.50,000ක් විතර වියදම් වෙලා තියෙනවා. මේක ගුවන්ගත කරන්න ඉන්ධන සඳහා ලක්ෂ එකහමාරක් වැයවෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා උදව් කරන්න පොරොන්දු වුණා. කල්පිටියේදී තමයි ගුවන්ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට ජනාධිපතිතුමත් එනවා කීවා.”

ගිහාන් හෙට්ටිආරච්චි සිය රොකට්ටුව පිළිබඳ අදහස් දක්වන්නේ සතුටෙනි. පෞද්ගලික වියදමින් රොකට්ටුව නිර්මාණය කළ ගිහාන් මීට පෙර කළ නිර්මාණ දෙකක් සඳහා පේටන්ට් බලපත්‍ර හිමිකරගෙන සිටී. ඔහුගේ බලාපොරොත්තුව ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය ලබා තව තවත් නිපැයුම් බිහිකිරීමය.

ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා මේ ආකාරයට රොකට්ටුවක් ගුවන් ගත කිරීමට සූදානම් වෙද්දී ශ්‍රී ලංකාවේ පළමු පාසල් රොකට්කරුවා පිළිබඳ තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය.
මේ රොකට්කරුවා කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පද්මජීව ගනේපොළය. ඔහු දැන් මහාචාර්යවරයෙකි. ඔහු වර්තමානයේ සේවය කරන්නේ ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඇති වැලී රෝහලේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේය. එහි අධ්‍යක්‍ෂවරයා ඔහුය.
එදා නාලන්දාවේ පද්මජීව ගනේපොළ සිසුවා විසින් නිර්මාණය කළ රොකට්ටුව ගුවන් ගත කළේ 1959 පෙබරවාරි 04 වැනිදාය. එනම් නිදහස් දවසකය.
එහි ඇති අනෙක් විශේෂතාව වූයේ ඉන් වසර 10කට පසු එනම් 1969 ජූලි 21 වැනිදා ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් ඇපලෝ 11 සඳ තරණ මෙහෙයුම මූලික කොටගෙන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් ක්‍රියාත්මක වීමටත් පෙර අපේ ආඩම්බර සිසුවා ඒ විද්‍යාත්මක පසුබිමට අත ගසා තිබීමය.
1959 වසරේදී සිදුවූ මෙම ඓතිහාසික සිදුවීමට එදා උදව් කළේ එවකට අගමැතිව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී මතාණන්ය. ඊට රජයේ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියාකාරී ලෙස කටයුතු කළේ ඇමැති සී.පී. ද සිල්වා මහතාය. එමෙන්ම නාලන්දාවේ එවකට විදුහල්පතිව සිටි එම්.ඩබ්ලිව්. කරුණානන්ද මහතා සහ ගුරුවරයකු ලෙස සේවය කළ ඒ.ටී. ආරියරත්න මහතා ඇතුළු බොහෝ විද්වතුන් පිරිසක් පෙර කී සිසුවාට උදවු කර තිබිණි.