https://www.gossiplankanews.com/2018/10/bear-murder-ampara.html
සුගිය 08 වනදා අම්පාර, ඉඟිණියාගල, මුල්ලේගම ප්‍රදේශයේ  වලසුන් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව තමා මියයාමට තීරණය කළ බවට අඟුරු කෑල්ලකින් සටහනක් තබා මියගොස් තිබුණ සිවිල් ආරක්ෂක භටයාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් බව
පසුව හෙළිවිය.
ඔහු ඒ ආකාරයට මියගිය බවට සටහන තබන්නට ඇත්තේද ඝාතකයා බව පොලිසිය විශ්වාස කරයි.
සිවිල් ආරක්ෂක භටයාගේ සිරුර සම්බන්ධයෙන් අම්පාර මහ රෝහලේ පැවැති පශ්චත් මරණ පරීක්ෂණයේදී  ඔහුට වළස් පහරදීමක් සිදුව නැති බවත් මියගොස් ඇත්තේ

වෙඩි පහර වැදීමෙන් පසු අධික රුධිර වහනයෙන් පසුව බවත් අනාවරණය විය.

මුල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි රවින්ද්‍ර තුසිත කුමාර නැමැති 38 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයකු මෙලෙස මියගිටෙය්ය. ඔහු  කරාඩුගල පොලිසියට අනියුක්තව සේවය කළ අයෙකු වූ අතර නිවාඩුව සඳහා පැමිණි සිටි මෙම පුද්ගලයාගේ සිරුර මුල්ලේගම  ප්‍රදේශයේ හේනක පැලක් තුළ තිබෙන බවට ඔහුගේ ඥාතීන් රත්මල්ගහඇල්ල පොලිස් මුරපොලට පැමිණිලි කිරීමෙන් අනතුරුව

මේ ගැන පොලිසිය විමර්ශන අරඹා තිබුණි.මළ සිරුර සොයාගත් ස්ථානයේ පොළොවෙහි අඟුරු කැටයක් ආධාරයෙන් “වලස්සුන් තුන්දෙනෙකු එක්ක පොර බැදුවා බේරෙන්න බැරිව වලහා කෑවා මම මැරෙනවා” යනුවෙන්  ලියා තිබූ අයුරු ද පොලිසියට හඳුනාගන්නට ලැබුණි.භටයාගේ තුවක්කුවද ඔහුගේ සිරුර අසළ තිබුනි. බැලුබැල්මට වළසා ඇති කළ තුවාල වලින් අනතුරුව ඔහු සියදිවිනසාගන්නට ඇති බව පෙනී ගියත් එය නිසැකවම ඝාතනයක් බව රෝහලේදී අනාවරණය විය.

ඔහුගේ මරණ පරීක්ෂණයේදී මෙය වෙඩි ප්‍රහාරයන් දෙකක් වැදීමෙන් සිදුවු මරණයක් බවට හඳුනාගත හැකි විය.
වලසෙකු විසින් පහරදීමක කිසිදු සාක්ෂියක් සිරුරේ තිබී නැත. එසේම බාහිර පුද්ගලයෙකුට මිස තමන්ට මේ ආකාරයට වෙඩි තබාගන්නට බැරි බවද එහිදී අනාවරණය විය.

එල්ලකරන ලද පළමු වෙඩිල්ල නිකටෙන් වැදි හක්ක ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති  බවත් දෙවෙනි වෙඩිල්ල හිස් මුදුනෙන් වැදී හක්ක ප්‍රදේශයෙන් පිටව ඇති බවත් එහිදී හිසට සිදුවු බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.
ඝාතනය සිදු කරන ලද පුද්ගලයින් සෙවීම සඳහා ඉඟිණියාගල පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.