පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන වික්‍රමරත්න මාවතේදී පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් රථය පැදවූ කාවිංගා ගුණවර්ධන (39) විශේෂඥ වෛද්‍යවරිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටියේ නැති බවට ඇගේ
හිතවත් වෛද්‍යවරුන් ලබාදුන් සාක්ෂිවලින් පසුව පොලිස් පරීක්ෂණ අනුව බීමතින් සිටි බවට වායු බැලුන පුරවා සනාථවූ බවත් ඇයගේ බීමත් භාවය ගැන කිසිදු සැකයක් නැති බවත් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ කියා සිටියා.


මෙම වෛද්‍යවරිය පරීක්ෂා කළ වෛද්‍යවරු ඇගේ මුවින් මත්පැන් ගඳ වහනය නොවූ බවට සටහනක් තබා තිබුණත් අධිකරණයට එම වාර්තාවෙන් පලක් නොතිබූ බවත් පොලිසිය ඉදිරිපත් කළ ස්වසන වායු පරීක්ෂණ වාර්තාව අධිකරණය පිළිගත් බවත් ඔහු කියා සිටියා.
මෙම බැලූන අප්‍රිකාවෙන් ආනයනය කළ උසස් ප්‍රමිතියෙන් යුතු ඒවා බවත් එහි කහ පැහැති පටියක් ඇති බවත් බීමත් අයෙකු පුම්බන විට එම කහ පැහැය කොළ පාටට හැරෙන බවත් පැවසූ ඔහු මේ කියන වෛද්‍යවරියගේ පරීක්ෂණයේදී ඇය පිම්බූ බැලූනයේ පටිය කොළ පාට වූ බවද කියා සිටියා.

කෙසේ වෙතත් අදාල පරීක්ෂණය ගැන ඇගේ නීතීඥයින් හෝ කිසිවෙකු අධිකරණයේ තර්ක නොකළ බවත් එසේ තර්ක කරන්නේ නම් ඇය අනතුරට පෙර සහභාගීවූ ගල්කිස්ස ප්‍රදේශයේ පැවති සාදයේදී ඇය බීමත්වූ අයුරු සටහන් වන සීසීටීවී දර්ශන පවා පොලිසියට ඉදිරිපත් කර අදාළ කරුණු සනාථ කළ හැකි බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළා.