යාපනයේ ආනේකෝට්‌ටේ කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පෙරහැරේදී ඊළාම් සිතියමක්‌ රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නවදෙනකුට එරෙහිව යාපනය අධිකරණයේ නඩු පැවරීමට පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

එම කෝවිලේ වාර්ෂික පෙරහැර පැවැති පසුගිය ජුනි මාසයේදී විදුලි බුබුලුවලින් අලංකාර කොට ඊළාම් සිතියමක්‌ පෙරහැරේ රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගැනීම සඳහා කෝවිලේ භාරකාර මණ්‌ඩලයේ හා තරුණ සංගමයේ පස්‌ දෙනකුට කොළඹට පැමිණෙන ලෙස පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකය මගින් දැනුම් දී තිබුණි.

ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තරවලට අනුව මේ සිද්ධිය ඉතා සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක්‌ මිස අහම්බෙන් සිදුවූවක්‌ නොවන බව පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකය මගින් තහවුරු කරගෙන තිබේ.

කොළඹට කැඳවා කළ ප්‍රශ්න

කිරීමට අනුව මේ සිද්ධිය සඳහා නවදෙනෙකු සම්බන්ධ බවට පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබේ.

ඉන් දෙදෙනකු කෝවිලේ පූජකවරුන් වන අතර තවත් අයෙක්‌ යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්‌ වෙයි. ඉතිරි හයදෙනා කෝවිල හා සම්බන්ධව පිහිටුවාගෙන ඇති තරුණ හින්දු සංගමයේ සාමාජිකයෝ වෙති.

මේ පිරිස අතරින් පස්‌ දෙනකු කොළඹට ගොස්‌ පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකයට කටඋත්තර ලබාදීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගනු ඇතැයි යන සැකය මත එම පස්‌දෙනා යාපනය දිසා අධිකරණයට පෙත්සමක්‌ ගොනු කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්‌වාලමින් නියෝගයක්‌ නිකුත් කරන මෙන් ඉල්ලා තිබිණි.

ඔවුන් යාපනය අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන් වරදක්‌ කොට නොමැති අතර පොලිසිය වැරදි චෝදනා ඉදිරිපත් කරමින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් බැවින් එම අත්අඩංගුවට ගැනීම වළක්‌වා නියෝගයක්‌ නිකුත් කරන ලෙසයි.

මේ පෙත්සම තවත් තොරතුරු රැසක්‌ සමඟ සිංහල භාෂාවෙන් ඉදිරිපත් කොට තිබූ නිසා එම පෙත්සම දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙස යාපනය දිසා විනිසුරු කනකරත්නම් කේසවන් මහතා විසින් නියෝග කොට තිබේ.

පොලිසිය මේ පිරිසට එරෙහිව යාපනය දිසා අධිකරණය වෙත නඩුවක්‌ ගොනුකොට ඇති නිසා යාපනය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම යළි දෙමළ භාෂාවෙන් සකසා ඉදිරිපත් කොට කෝවිලේ භාරකරුවන් ඇතුළු පස්‌ දෙනාට ලබන නොවැම්බර් මස 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කොට තිබේ.

-දිනසේන රතුගමගේ-