වතු කම්කරුවන් ඉල්ලා සිටින පරිදි දිනකට රුපියල් 1000 ක මූලික වැටුපක් කිසිසේත්ම ලබාදිය නොහැකි බවත් වතු සමාගම්වලට දිය හැක්කේ දිනකට රුපියල් 600 ක මූලික වැටුපක් පමණක් බවත් ශ්‍රී ලංකා
වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා කොළඹ දී ඊයේ (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වතු කම්කරුවෙකු දිනකට රුපියල් 1000 ක මූලික වැටුපක් ඉල්ලා සිටිම අසාධාරණ හා අතාර්කික ඉල්ලීමකැයි කී සභාපතිවරයා එසේ දුනහොත තේ කර්මාන්තය කඩාවැටී රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවිය හැකි බවද කීය.
වතු කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් කම්කරුවන්ටද අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ට දිනකට රුපියල් 600 ක මූලික වැටුපක් ලබාදීමට වතු හාම්පුතුන් කරන යෝජනා පිළිගත යුතු යැයිද ඔහු සඳහන් කළේය.
මීට පෙර පැවැති

සාමුහික ගිවිසුමට අනුව දැනට වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 500 ක මූලික වැටුපක්ද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 60ක්ද ඵලදායිතා දිමනා ලෙස රුපියල් 140ක්ද මිලබෙදීමේ අතිරේක දීමනාව ලෙස රුපියල් 30ක්ද සේවක අර්ථසාධක බැරකිරීමේ රුපියල් 75 ක්ද සමග දිනකට රුපියල් 805ක් ලබාදෙන බවද සභාපතිවරයා කීය. රුපියල් 805ක මුදල රුපියල් 940 ක් දක්වා ඉහළ නැංවීමට හාම්පුතුන් යෝජනා කරන නමුත් ඊට කම්කරුවන් හා වෘත්තීය සමිති එකඟ නොවීම අවාසනාවන්ත තත්ත්වයකැයිද සුනිල් පොහොලියද්ද මහතා කීවේය.
නව යෝජනාවට අනුව වතු කම්කරුවෙකුගේ මාසික වැටුප රුපියල් 3375 කින් ඉහළ යන බවද ඔහු පැවසීය.
මීට අමතරව දිනකට තේ දළු කිලෝ 16ත් 18ත් අතර ප්‍රමාණයට වැඩියෙන් නෙළන වතුකම්පාකරුවකුට අමතර තේ දළු කිලෝවකට රුපියල් 28.75 බැගින් ගෙවීමටද යෝජනා කර තිබෙන අතර එම තීරණය අනුව දිනකට නියමිත ප්‍රමාණයට වඩා තේ දළු කිලෝ 3ක් නෙළන කම්කරුවකුට ඒ සඳහා මසකට රුපියල් 1000ක අමතර මුදලක් ලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව වතු කම්කරුවන්ට පහසුකම් සැපයීමද වතු සමාගම් මගින් සිදුකෙරන අතර ඒ සඳහා එක් කම්කරුවකු වෙනුවෙන් දිනකට රුපියල් 125ක් වැනි මුදලක් වැය කෙරෙන බවද ඔහු කියයි. මේ වන විට තේ නිෂ්පාදන වියදම ඉහළ ගොස් තේ කිලෝවක් අලෙවි කරන මිල රුපියල් 570 දක්වා අඩුවී ඇති හෙයින් බොහෝ සමාගම් පවත්වාගෙන යනු ලබන්නේ පාඩු පිට බවද ඔහු සඳහන් කළේය.
වතු සමාගම් කරන දෙවැනි යෝජනාව වන්නේ ඵලදායිතාවය පදනම් කරගත් ක්‍රමවේදය වන අතර ඊට අනුව මූලික වැටුපකින් තොරව කම්කරුවකු නෙළන සෑම තේ දළු කිලෝවකටම රුපියල් 46 බැගින් ගෙන අතර ඊට අමතරම් මිල බෙදීම් අතිරේක දීමනා, පැමිණීමේ දීමනාව සහ ඵලදායිතා දීමනාවද ඔවුන්ට හිමි වෙන බවද සභාපතිවරයා කීය.
වතු කම්කරුවන් මෙම ක්‍රම දෙකෙන් එකක් තෝරාගත යුතු යැයිද ඔහු සඳහන් කලේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා ඇතුළු නිලධාරින් පිරීසක්ද සහභාගි වී සිටියහ.
(රංජන් කස්තුරි)