සැමියාගේ රහස් ප්‍රදේශයට මෝල්ගසෙන් පහරදී ඝාතනය කර සිය දරු දෙදෙනාද නිවෙසේ දමා ගිය කාන්තාවට ඇපදීමට නියම කර සිටියත් කිසිවකු ඉදිරිපත් නොවීමෙන් තවදුරටත් මේ මස 19 දින දක්වා
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ (05දා) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල පොලිස් වසමේ බෙලිගල, හන්නාගොඩ, හරන්කහව පදිංචිව සිටින පුෂ්පා ගුණරත්න නමැති 50 හැවිරිදි දෙදරු මවකි.


රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කන්තාවගේ පළමු විවාහක සැමියා මියයෑමෙන් පසු හරන්කහව පදිංචිව සිටි ගොඩයලාගේ ප්‍රේමරත්න සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඔහුගේ නිවෙසට 2010 වර්ෂයේ සැකකාරී පැමිණ ඇත. සැමියා කුලීවැඩ කර උපයා දෙන සුළු මුදලින් දරු දෙදෙනා හදාවඩා ගෙන ඇති මෙම කාන්තාව සම දිනකම පුරුෂයා මත්පැන් පානය කර නිවෙසට පැමිණ පහරදීම ඉවසා දරාගත නොහැකිව කාලයක් ජීවත්ව සිට ඇත. 2016 මැයි මස 19 වැනි දින රාත්‍රි අධිකව බීමත්ව නිවෙසට පැමිණි සැමියා සැකකාරීයට පහරදී ඉදිවෙමින් තිබූ නිවසේ නින්දට ගොස් ඇත.

පසුව බිරිය නිවසේ තිබූ මෝල් ගහෙන් සිය පුරුෂයාගේ රහස් ප්‍රදේශයට පහරදී ඝාතනය කර දරු දෙදෙනාද නිවෙසේ දමා රාත්‍රියේම කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි සහෝදරීයකගේ නිවසට ගොස් තිබේ. පසුව සිය පියාගේ මෘතදේහය අසල දින

05ක් දිවා රෑ කෙසෙල් ගෙඩි කමින් හා පහළ තිබූ ළිදෙන් වතුර පානය කර දරු දෙදෙනා ජීවත්ව ඇත. ඝාතනය කර දින 05කට පසු (මැයි 24දා) අසල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු අදාළ නිවෙසින් එන්න දුගඳ ඉවසා ගත නොහැකිව සොයාබැලීමේදී බෙහෙවින් නරක් වී තිබූ පිරිමි මළසිරුරක් හා දරු දෙදෙනා දැක කෑගල්ල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා තිබිණි.

 පසුව කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා අදාළ නිවෙසට ගොස් මූලික පරීක්ෂණ සිදුකර වැඩිදුර පරීක්ෂණ සඳහා මෘතදේහය කෑගල්ල මහ රෝහල වෙත යැවීමට කටයුතු කෙරිණි. කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා කියා සිටියේ මොට ආයුධයකින් රහස් ප්‍රදේශයට වැදුණු තියුණු පහරවල් හේතුවෙන් මරණය සිදුව ඇති බවත්ය. ඉන් අනතුරුව සැකකාරිය රන්දෙණිය ප්‍රදේශයේ වැඩිමහල් සහෝදරයකුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකාරියට මාස කිහිපයක සිට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට හැකි බව නියෝග කර සිටියත් ඇයට ඇප ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඊයේ (05) තවදුරටත් සැප්තැම්බර් මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

-දමින්ද ජයලත්-