කාබද්ධ විපක්ෂය විසින් ඊයේ (05) පැවැත්වූ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය අතිශය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එයට දුර පළාත්වල සිට පිරිස් ගෙන්වා කළ නාස්තිකාර වියදම සහ සවස්වරුවේ ඇතිවූ වාහන තදබදය මත රැකියා නිමවී නිවෙස්වල යාමට සිටි
අයට බලපෑ අපහසුතාව හැරෙන්නට වෙනත් දෙයක් ඵලයක් ලෙස නොලැබුණ බව ඔවුන් දන්වා සිටී.
ජනබලය කොළඹට විරෝධතාවට එක්වූ පිරිස ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ආරම්භ කළ එම සත්‍යග්‍රහය රාත්‍රී 10.15 ට පමණ අවසන් කරන ලද්දේ නාමල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ

සත්‍යග්‍රහය පැවති ස්ථානයට පැමිණ එය නිල වශයෙන් අවසන් කරන බවට දැනුම්දීමෙනි. ඒ වනවිට සවස එක්වූ පිරිසෙන් ඉතිරිවී සිටියේ ඉතා සුළු පිරිසකි.
පිටමංව ගිය අය සංවිධානයේ දුර්වලතා ගැන දෝෂාරෝපණය කරමින් විසිරගොස් තිබුණි.

ඊයේ රාත්‍රියේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියා සිටියේ ජනතාව සහ ව්‍යාපාරිකයින් මින් පීඩාවට පත්වූ බවයි.තම පුතාගේ ප්‍රතිරූපය වර්ධනය කරනු පිණිස හිටපු ජනපතිවරයා මෙම අවස්තාව සංවිධානය කළත් සිද්ධවුනේ පුතා නැවත අසාර්ථක බව ඔප්පුවීම බවත් සහෝදරයාගේ රැල්ලද විහිළුවක්වූ බවත්ය.

මත්පැන් හා බත්පැකට් වහලුන්ගේ විරෝධතාවලින් කිසිදු අර්ථයක් පවතින දේශපාලන ක්‍රමයට නොලැබෙන බවද ඔවුන් ප්‍රකාශ කළා.
 පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ ඊයේ දිනයේ කොළඹ නගරය තුළදී කිසිදුකලහකාරී සිදුවීමක් වාර්තා වූයේ නැති බවත් හදිසි අවස්ථාවකට මුහුණදීමට අවශ්‍ය පරිදි ආරක්ෂක කන්ඩායම් සීරුවෙන් සිටියත් කිසිවෙකුට කලබලයක් ඇතිකිරීමේ උවමනාවක් නොපැවති බවයි.
ඊයේ පැවති ජන බලය විරෝධතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද උපහාසාත්මක විහිළුසහගත අදහස් හුවමාරුවී තිබෙන අතර එහි බීමතින් වැටී සිටි අය ගැන හා ආන්ඩු පෙරළන්නට දැරූ උත්සාහය ව්‍යර්ථවූ අයුරු ගැන විවිධ අදහස් පළවී තිබේ.

මෙම විරෝධතාව වෙනුවෙන් පැමිණි පිරිසට තැනක් නොදන්වා වටේ යැවුවේ කොළඹ අක්‍රීය කිරීමේ අරමුණින් වුවත් අවසානයේ එහි කිසිවක් සිදුනොවී රාත්‍රිය උදාවනතුරු පිරිස රස්තියාදුවූ බවත් පාරවල් අවහිරවී සාමාන්‍ය ජනතාවට විවිධ අපහසුතා මතු කළ බවත් විවේචනාත්මකව අදහස් පළව තිබේ.
අපට ගොඩ වැඩි යයි කියන්නට සෙනග එකතුකර ඒවා ඡායාරූප හා වීඩියෝ වලට නැගීම හැර කිසිදු දේශපාලන කතාවක් හෝ අර්ථවත් විරෝධයක් ඉන් සිදු නොවූ බවටද චෝදනා තිබේ,