මාකඳුරේ මදුෂ් යොදවා ගෝඨාභයට හෝ මෛත්‍රිපාලට අනතුරක් කර බලය ඇල්ලීමේ කතාවක් ගැන ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පළ කළ අදහසක් ගැන මේ වනවිට ආන්දෝලනයක් මතුව තිබේ. ඊට අමතරව පොලිසියේ තමාට ඉහළ තනතුරු ලබාගැනීමට සිදු කළ යුතු කුමන්ත්‍රණකාරී වැඩසටහන් ගැනත්
සිංහලේ අමිත් ඇතුළු පිරිස් විවිධ උපායන් නිර්මාණය කර අපකීර්තියට ලක්කිරීම ගැනත් මෙම තැනැත්තා දුරකථනය ඔස්සේ සාකච්ඡා කර තිබෙන අතර එකී දුරකථන සංවාද ඔහු පවත්වා ඇත්තේ දූෂණ විරෝධී බලකාය නමැති සංවිධානයක නාමල් කුමාර සමගයි.
එම කුමන්ත්‍රණකාරී සාකච්ඡා බරපතල ප්‍රකාශයන්ගෙන්

යුක්තවූ අතර මෙවැනි දෑ ගැන කතාවෙන්නට නාමල් කුමාර හා නාලක ද සිල්වා අතර කවර ආකාරයේ සම්බන්ධයක් තිබුණිදැයි තවම පැහැදිලි නැත.

කෙසේ වෙතත් එම සාකච්ඡා වලින් පසුව ඔවුන් අතර
විරසකයක් පැනනැගී මින් දින දෙකකට පමණ පෙර නාමල් කුමාර පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මෙම හඩ පට ප්‍රසිද්ධ කළේය. පසුව සිංහලේ අපි ජාතික සංවිධානය සමග මේ ගැන පොලිස් කොමිසමට පැමිණිල්ලක්ද කළේය.

මෙම දුරකථන සංවාද වල පැහැදිලි ලෙසම ඒ කියන ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඩ ඇතුළත්වූ අතර මාකඳුරේ මදුෂ් යොදවා ගෝඨාභයට හෝ මෛත්‍රිපාලට අනතුරක් කිරීම ගැන ඔහු වැනි තනතුරක් දරන අයෙකු සාකච්ඡාවට ලක්කිරීම පවා බරපතල  තත්වයකි. නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් ඉවත්කර තමාට ඉහළට යාමේ අවශ්‍යතාව වැනි පොලිස් විනය සම්බන්ධ බරපතල සාකච්ඡාද ඔහු දුරකථනය ඔස්සේ සිදු කර ඇත.

මෙම සිදුවීම් දාමය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර ඊයේ දැනුම් දී ඇත.
පහත පළවන්නේ  දූෂණ විරෝධී බලකාය නමැති සංවිධානයේ නාමල් කුමාර අදාළ හඩ පට කිහිපයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අයුරුය.