පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු හත් දෙනකු පිළියන්දල මඩපාත නිවෙසක බියර් සාදයක් පවත්වත්දී 12දා පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සිසුන් පස්දෙනාම මෙවර අ.පො.ස.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බව

පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 14 හා 18 වයසැති තරුණයන් දෙදෙනකුද සිට ඇත. ඔවුන් සමඟ බීයර් බෝතල් හයක්, දුම්වැටි පැකට්ටුවක් හා අසබ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන තිබේ.

පෙරේදා (12දා )උදේ අටට පමණ පාසල් යන වයසේ සිතිය හැකි ළමයින් පිරිසක් මඩපාත ප්‍රදේශයේ නිවසකට පැමිණ සින්දු කියමින් හැසිරෙන බවට පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම් කර තිබිණි. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් දෙදෙනකු ස්නාධිපතිවරයා ලබාදුන් තොරතුරු අනුව එම නිවස වෙත යැවීමේදී පාට ඇඳුමින් උඩුකය නිරුවත්ව සිටී කිහිප දෙනකු බියර් පානය කරමින් සිටි බවත් අනෙක් පිරිස සින්දු කියමින් නටමින් සිට ඇත. කණ්ඩායමේ සිටි එක් සිසුවකු දුම්වැටියක් දෙතොළඟ රුවාගෙන සවලක් කර මත තබාගන නැටීමේදී අනෙක් පිරිස ද අත්පුඩි ගසමින් සින්දු කියමින් සිට ඇත.

 පිරිස අතර සිටි තරුණයන් දෙදෙනාගෙන් අයකු ප්‍රසිද්ධ හෝටලයක අරක්කැමියකු වශයෙන් කටයුතු කරන්නකු වන අතර ඔහු අවශ්‍ය කටගැස්ම හා ආහාර සකස් කරමින් සිටි බව වැටලීම කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය. සිසුන් භාරයේ තිබූ ජංගම දුරකථන පරීක්ෂාවේදී මොවුන් මේ අයුරින් මීට පෙර පැවැත්වූ මත්පැන් සාද කිහිපයක විඩියෝ දර්ශන කිහිපයක්ද තිබී ඇත. එයට අමතරව අසභ්‍ය දර්ශනද තිබී ඇත. මවුපියන් දරුවන්ට ජංගම දුරකථන ලබාදීමේදී ඒ පිළීබද සැලකිලිමත් බවක් නොදැක් වීම මෙවැනි අපචාර ක්‍රියාවන් සඳහා යොමුවීම වැළැක්වීමට නොහැකි යැයි  ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අත්අඩංගුවට ගත් සිසුන්ට මෙන්ම ඔවුන්ගේ මවුපියන්ද පොලිසියට ගෙන්වා දැඩිලෙස අවවාද කර මුදා හැරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.


-එම්.සී.පෙරේරා-