https://www.gossiplankanews.com/2018/09/makandure-madush-father-s-funeral.html
රිය අනතුරකින් මියගිය තම පියාගේ අවසන් කටයුතු හෙලිකොප්ටරයකින් මල් ඉස මහ ඉහළින් සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භක කර ඇති බව පොලිස් ආරංචී මාර්ග සඳහන් කරයි.
මාකඳුරේ මධුෂ්ගේ පියා වූ එස්.ඩී. ලක්ෂ්මන් මහතා
කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ඉකුත් 29 වැනි දින මිය ගියේය. නාගොඩ රජයේ රෝහලේදී මියගිය පියාගේ දේහය දර්ශනීය රිය පෙරහරකින් සුරියවැව් ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබෙන බව දැන ගන්නට ඇත.
ඉකුත් 01 වැනිදා එම පියාගේ අවසන් කටයුතු සූරියවැව පිහිටි ඔහුගේ නිවසේදි අති උත්කර්ෂවත්ව සිදු කිරීමට ඩුබායි හී සැගවී සිටින මාකඳුරේ මධුෂ් එම පවුලේ ඥාතීන්ට උපදෙස් දී තිබෙන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. එමෙන්ම පියාගේ දේහය නිවසේ සිට සුසාන භූමියට රැගෙන ගොස් මිහිඳන් කරන මත්තෙන් හෙලිකොප්ටරයකින් ගුවනේ සිට මල්

ඉස තිබෙන බවද හෙළි වී තිබේ.
ඒ පිළිබඳව කොළඹ පෞද්ගලික ගුවන් යානා සමාගමේ නියෝජිතගෙන් විමසු විට කියා සිටියේ කොට්ටාවේ දිනේෂ් නමැති අයකු මුදල් ගෙවා යානය එම කටයුත්ත සඳහා වෙන් කර ගෙන තිබූ බවයි.
ඒ හැර එය මධුගේ පියාගේ අවමගුල් උත්සවය බව දැන නොසිටි බව ද ඔහු වැඩිදුරටත් කීය. එම අවමංගල්‍ය උත්සවය ඩුබායි හී සිට මාකඳුරේ මධුෂ් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව නරඹා තිබෙන බවද දැන ගන්නට ඇත.
ඊට අමතරව ඔහු ශෝක පණිවුඩයක් ද එවා තිබූ අතර එය ඩිජිටල් බැනරයක මුද්‍රණය කර ප්‍රදර්ශනය කර තිබිණි. එහි මෙසේ සදහන් කර තිබිණි.
"පැළදුවේ දූ දරුවන්ගේ සෙනෙහසේ කිරුළ... නිහතමානි මිනිසෙකි ඔබ සොඳුරු සරල... අවසන් මොහොතේ මට ඔබේ පපුව මත මගේ මුහුණ තියාගෙන හදවතේ බුර බුරා නැගෙන වේදනාව කැ ගහලා කියන්න මේ කුරිරු සමාජය ඉඩ නොදුන්න බව දන්නවා. හැම මොහොතකම මගේ තාත්තා සෙවනැල්ලක් මෙන් මා පසුපස ඉදිමින් මට ශක්තිය ධෛර්යය දෙන බව දන්නවා.

තාත්තාගේ පොඩි පුතාගේ ජීවිතය උදුරා ගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන් වැජඹෙන විට නිහඬ පිය සෙනෙහස වේදනාවෙන් විද දුක තුනී කර ගන්නට අවි අතට ගන්න දෙවරක් සිතුවේවත් පැකිලෙන්නේවත් නැත්තේ සහෝදර ප්‍රේමයට තාත්තාගේ රුධිරය ලේ මස් ඇට නහර තුළ සිරවී වේගයෙන් දිව්වේ මල්ලීගේ ජීවිතය උදුරා ගත් නරුමයන් පසුපසයි.

තවත් එවැනිම කොල්ලන්ගේ ජීවිත උදුරා ගැනීමට ඉඩ නොදෙමි. රටට සමාජයට වින කරන වුන් අකා මකා දමන්නට අවසන් වරට දිවුරා සපථ වෙමි ඔබේ නාමයෙන්.
ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුණු ලොකු පුතා මම වෙමි.
රටක් පරසිඳු පුතකු බිහි කළ, පියෙකි නුඹ මරණය ද පසු කළ" යන්නය.
මෙම අවමංගල්‍ය කටයුතු සඳහා විශාල ජනකායක් සහභාගී වූ අතර මධුෂ්ට හිතවාදී ප්‍රබල පාතාල සාමාජිකයන් පවා පැමිණ ඇති බවට තොරතුරු පැතිර තිබේ.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)