කෑගල්ල ඇදුරාපොත ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි සාමණේර හිමිවරු තුන්නමකට විහාරස්ථානයේ හිමිනමක් පහරදීම හේතුවෙන් සිවුර හැරදමා යමින් සිටියදී 09දා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.  මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ
ප්‍රතිකාර ලබමින් සිටින්නේ මාරවිල, බන්දාව හා ඉඟිනියාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11,12 සහ 14 හැවිරිදි සාමනේර හිමිවරුන් තිදෙනකු බව කෑගල්ල පොලිසිය කියයි.

මෙම පිරිමි දරුවන් තිදෙනා මීට වසරකට පමණ ඉහතදී කෑගල්ල ඇදුරාපොත ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථානයක පැවිදි කර එම පිරිවෙන්නෙහි අධ්‍යාපනය ලබමින් වැඩ සිට ඇති බව පොලිසිය කියයි. එම පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමක් මෙම සාමණේර හිමිවරු තුන්නමට කාලයක සිට පහරදී ඇති අතර එම පහරදීම ඉවසා දරාගත නොහැකිව තුන්නම විහාරස්ථානයේදී සිවුර හැර දමා

කමිස කලිසම් අඳ ඔවුන්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ රැගෙන බෑග් කරේ දමාගෙන  එක පිරිමි දරුවකුගේ කැලණියේ පදිංචි නැන්දා කෙනකුගේ නිවස බලා යෑමට විහාරස්ථානයෙන් පිටත්ව කෑගල්ල දෙසට මාර්ගයේ ගමන් කර ඇත.

මෙම පිරිමි දරුවන් තිදෙනා මාර්ගයේ කෑගල්ල දෙසට ගමන් කරමින් සිටියදී ඇදුරාපොත ප්‍රදේශයේ ලොරි රථ රියැදුරුවරයකු දැක පසුව තිදෙනාගෙන් කරුණු විමසා අදාළ ලොරි රථ රියැදුරුවරයා පිරිමි දරුවන් තිදෙනා කෑගල්ල මූලස්ථාන පොලීසියේ ළමා හා කාත්තා කාර්යාංශයට භාරදී තිබිණි. එහිදී පිරිමි දරුවන් තිදෙනා පොලිසියට තොරතුරු ලබාදී ඇති අතර පසුව කෑගල්ල මහ රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය නිසංසලා ජයවීර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රෝහල්ගත කරන ලෙස දන්වා තිබිණි.  එක් දරුවකුගේ නැන්දා කෙනකු පැමිණ සිටි අතර එම දරුවා නැන්දා විසින් රැගෙන ගොස් තිබිණි.  සෙසු පිරිමි දරුවන් දෙදෙනා කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු රෝහල් කාර්ය මණ්ඩලය දරු දෙදනා වටා එරොක්වී ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න මතුකර ඇති බවත් පසුව වයස අවුරුදු 11ක්වූ පිරිමි දරුවා හඬා වැටෙමින් පොලිස් කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ රෝහලෙන් බැහැර නොයන ලෙසත්ය.


පසුව පහර දුන්නා යැයි කියන හිමිනම පොලිසිය මඟින් ප්‍රශ්න කර ඇති අතර දෙදෙනකු කියන දෙයක් නොඅසන බවත් සෙසු පිරිමි දරුවා යළි පන්සලට ලබාදෙන ලෙසත් පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට පොලිසිය විරුද්ධතාව ද ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. සෙසු පිරිමි දරුවන් දෙදෙනාගේ ඥාතීන් සොයා භාරදීමට පොලිසිය මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එක් පිරිමි දරුවකුගේ පියා මියගොස් ඇති බවත් තවත් පිරිමි දරුවකුගේ මව වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවත්, සෙසු පිරීමි දරුවාගේ පියා වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බව වාර්තා වේ.

-චමින්ද ජයලත්-