https://www.gossiplankanews.com/2018/09/hashi-amendra-au-tour.html

 2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි කාලයේ දී එහි උකස් අංශයේ තිබූ රුපියල් ‍දොළොස් ලක්ෂ අසූදහසක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිය වන හෂිනි අමේන්ද්‍රා
රත්නායක ඇප මත නිදහස ලබා සිටින්නේ විදෙස් ගමන් තහනම් කර ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ගැනීමෙන් පසුවය.
නමුත් තම ස්වාමියාට විදේශයන්හි පැවැත්වෙන සංගීත සංදර්ශන දෙකක් සඳහා සහභාගි වීමට අවශ්‍ය බවත් වයෝවෘද්ධ ඔහුට එම ගමන් තනිව යාම අපහසු බවත් දන්වා

විදේශ සංගීත සංදර්ශන දෙකක් සඳහා සහභාගි වීමට රට යාමට අවසර දෙන ලෙස ඉල්ලා හෂිනි අමේන්ද්‍රා රත්නායක ඊයේ (19) තංගල්ල මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කරන ලදි.
එම ඉල්ලීම සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ප්‍රවීණ ගායකයාගේ කීර්තිය හා ඔහුගේ වයස සලකා ඔහුගේ බිරිය වශයෙන් හෂිණි කරන ඉල්ලීම දෙස සානුකම්පිත ආකාරයට සැලකිල්ල දක්වා ඇයට රුපියල් ලක්ෂ දහයක බැඳුම්කරයක් හා පුද්ගල ඇපයක් මත විදෙස් ගතවීමට අවසර දී තිබේ.
වික්ටර් රත්නායක ඔක්තෝබර් 17දා සිට දින කිහිපයක් ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ සංගීත සන්දර්ශන පවත්වන්නට නියමිතය.
හෂිනි අමේන්ද්‍රා රත්නායක ට රට යාමට අවස්ථාව ලැබුණත් ඇපය තබන පුද්ගලයා සතු විදෙස් ගමන් බලපත්‍රය ද මහාධිකරණය හමුවේ තැබිය යුතු බවට ද සැකකාරිය නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු ඇපකරුට විදෙස්ගත වීම  තහනම් බවටද කොන්දේසි පැනවූ අතර
ඊට අමතරව ශ්‍රී ලංකාවට පැමිණ දින හතක් ඇතුළත නැවත ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය තංගල්ල මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට භාර දෙන ලෙස දන්වා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සචිනි ඉද්දමල්ගොඩ පෙනී සිටි අතර සැකකාරිය වෙනුවෙන් නීතිඥ නිශාන්ත සඳබරණ පෙනී සිටියා.