කාබද්ධ විපක්ෂය විසින් පසුගියදා පවත්වන ලද ජනබලය විරෝධතාවය අතරතුර පිරිසක් බෙදාහරින ලද කිරි පැකට් පානය කිරීම නිසා විරෝධතාව දැක්වූවන් පිරිසක් අසනීප තත්වයට පත්වීමත් එය පසුපස
දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බවටත් විවිධ කතා ඇති විය.

මෙම කිරි පැකට් වලට විස යමක් විද ලබාදී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය කියද්දී ඒවා පිම්බෙන්නේ කෙසේදැයි අනෙක් පාර්ශ්වය ප්‍රශ්න කර තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධ පරීක්ෂණ තවම අවසන් නොමැතිවී තිබෙන පසුබිමක ජනබලය සම්බන්ධ විශාලතම කතාබහ කිරිපැකට් බවට පත්කරවන්නට ඒකාබද්ධ විපක්ෂය හා හිතවත් මාධ්‍ය කටයුතු කරනුද දක්නට ලැබේ.
මේ අතර ඊයේ වාර්තාවූයේ මෙම කිරිපැකට්ටුවක් පානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමද අසනීප වූ බවයි. තමා දින තුනක් බඩේ අජීර්ණයකින් පෙළුනේ මෙම කිරිපැකට්ටුවක් බොන්නට ගොස් බව ඔහු පවසා තිබේ.
තමාට එම රෝගී තත්වයෙන් තවම සුවය ලැබී නැති බවත් හිටිගමන් වැසිකිලි යන්නට අවශ්‍යතා මතුවන බවත් ඩලස් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කීය. තමා අසනීපය සෑදුණ පසුව කිරි පැකට්ටුව සොයාගෙන පරීක්ෂා කළ බවත් එහි නිෂ්පාදිත දිනය ලෙස අගොස්තු 24 හා කල් ඉකුත්වන දිනය ලෙස සැප්තැම්බර් 30 සටහන්වූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.