අම්බලන්ගොඩ, කන්දෙගොඩ ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක බිහි කළ දරුවාගේ පියා එම බාලවයස්කාර දැරියගේ පියා බවට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙන හෙයින් නඩුව ඉදිරියට ගෙන යාම සඳහා
උපදෙස් ලබා ගැනීමට ගොනුව නීතිපතිවරයා වෙත යවන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අම්බලන්ගොඩ පොලිසියට නියෝග කළේය.  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් මහෙස්ත්‍රාත්ත්වයා නඩුව 2019 ජනවාරි 7 දින නැවත කැඳවන බව දැනුම්දුන්නේය.

දැරිය තවදුරටත් පරිවාස භාරයේම තබන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

අම්බලන්ගොඩ, කන්දෙගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් සිය පියා විසින් දූෂණය කර ඇය ගැබිනියක් බවට පත්කර තිබෙන්නේ යැයි 2015 සැප්තැම්බර් මාසයේ නාමික දුරකථන ඇමතුමක් ඔස්සේ අම්බලන්ගොඩ පොලිසියට දැනුම් දී තිබේ. දැරියට දරුවා ලැබීමෙන් එම දරුවා සහ දැරියගේ පියා අම්බලන්ගොඩ පොලිසිය මඟින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ. දෙදෙනාගේ ඩී.එන්.ඒ. සැසඳෙන බවට වූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබීමෙන් පසු අම්බලන්ගොඩ පොලිසිය බළපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර සැකකරුට එරෙහිව නඩු පවරා ඇත.

දැරිය දූෂණයට ලක් කිරීම සහ කරුණු වසන්කිරීම යටතේ දැරියගේ පියාටත් (45) කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් දැරියගේ මවටත් (42) දැරිය සඟවා ගෙන සිටීම සම්බන්ධයෙන් වස්කඩුවේ පදිංචිකරුවකු (47) සහ ඔහුගේ බිරියටත් එරහිවඅම්බලන්ගොඩ පොලිසිය නීතිපතිවරයා වෙත යොමුකරන ලද ගොනුවේ කරුණු දක්වා ඇත.
-දම්සරි ලියනගේ-