https://www.gossiplankanews.com/2018/09/dilshan-back-to-cricket.html#more
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බව ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කියයි.
"මම ක්‍රීඩාවෙන් සමුගන්න ඉස්සරවෙලා 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කරන්න මගේ අදහසක් තිබුණා. මොකද ඒ වෙනකොට
මම ලකුණු ලබාගනිමින් හිටපු ආකාරයයි, මගේ තිබුණ ශාරීරික යෝග්‍යතාවයි එක්ක මට හිතුණා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම් මට යන්න පුළුවන් කියලා.....ඒත් පස්සේ ආපු ප්‍රශ්න කිහිපයක් නිසා මම තරුණයන්ට තැන දීලා අයින් වුණා"
"මට දැන් ඇවිල්ලා එක පාරටම ලොකු ලොකු දේවල් කරන්න බැරිවෙයි. ඒත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා හිතෙනවා. අඩුගානේ මගේ අත්දැකීම්වත් බෙදාහදාගන්න පුළුවන් වෙයි"
ඩිල්ෂාන් කීවේය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුලින් සමුගන්නා බව කියූ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයෝ

කිහිප දෙනෙක්ද ආපසු ක්‍රීඩා පිටියට පිවිසි අවස්ථා මින් ඉහත වාර්තාවී ඇත. පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩි, ඉරාන් බාන් (පාකිස්තානයේ වත්මන් අගමැතිවරයා), සහීඩ් අෆ්රීඩි, ඕස්ට්‍රේලියාවේ බොබ් සින්, බටහිර ඉන්දීය දූපත්හි කාල් හූපර්, සිම්බාබ්වේහි ග්‍රාන්ට් ෆ්ලවර්, කෙන්යාවේ ටීව් ටිකෝරලෝ මෙන්ම එංගලන්තයේ කෙවින් පීටර්සන්ද ඒ අතර සිටිති.
වසර දෙකකට ඉහතදී, ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව දඹුල්ලේදී සිය අවසන් එක්දින තරගයට සහභාගි වූ ඩිල්ෂාන් පසුව ලෝකයේ විවිධ රටවල පැවැති විස්සයි 20 තරග වලට ක්‍රීඩා කළේය.

මේ වනවිට ආරම්භ වී ඇති වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී මාස් යුනිචෙලා කණ්ඩායමට නායකත්වය දෙන ඔහු තවමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පුර්ණයෙන්ම ඈත් වී නැත.
"ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ එක්දින තරග සඳහා ස්ථාවර ආරම්භක පිතිකරුවන් දෙදෙනකු සොයා ගැනීමයි. පසුගිය තරගවලදී උපුල් තරංග,

නිරෝෂනේ දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ධනුක ගුණතිලක මෙම කුසල් පෙරේරාත් ආරම්භක පිතිකරුවන් ලෙසින් අත්හදා බැලූ නමුත් ඒ සියලුම පරීක්ෂණ අසාර්ථක වුණා.

මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019  ලෝක කුසලාන තරගාවලිය සම්පුර්ණයෙන්ම හිතෙන් අරලයි. ඒත් මට දැන් හිතෙනවා ඒ වෙනුවෙන් මටත් යමක් කරන්න පුළුවන් කියලා අවස්ථාවක් ලැබුණොත් මම ඒ ගැන හිතලා බලනවා.“

ආසියානු කුසලාන තරගාවලියේදී පරාජය වූ තරග දෙකත් පසුගිය අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරග පහත් සමග ශ්‍රී ලංකාවේ අවසන් එක්දින තරග 7 දී පළමු කඩුලේ සම්බන්ධතා සටහන් ව න්නේ 0, 22, 50, 61, 20, 13 ක් සහ 2 ක් වශයෙනි. මෙම තරගවලින් ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව 50 ක් සහ 61 ක් වූ (උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල) තරග දෙකේදීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිල ජයගත් අතර එම තරග දෙකේදී ශ්‍රී ලංකා ඉනිම අවසන ලකුණු සංඛ්‍යාවන් සටහන් වූයේ ඕවර 50 කඩුලු 8 ට 299 ක් සහ ඕවර 39 කදී කඩුලු 7 ට 306 ක් වශයෙනි.

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පෙර ඩිල්ෂාන් එක්දින තරග 330 කදී ශතක 22 ක් ද සහිතව ලකුණු 10,290 ක් ලබා සිටියේය. එක්දින තරගයකදී ඩිල්ශාන්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 39.27 ක් වූ අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව) 86.23 ක් විය.
අවස්ථාවක් ලැබෙනතුරු ඩිල්ෂාන් බලාපොරොත්තුවෙන් සිටී.

(දමින්ද විජේසූරිය)