මේ දිනවල වන්දනා හා විනෝද චාරිකා සඳහා අනුරාධපුරයට පැමිණීමට පෙර ප්‍රදේශයට බලපා තිබෙන ජල හිගය ගැන අවධානය යොමු කරන

ලෙස පිට පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර චමින්ද ලොකුබරණ මහතා පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට මේ වන විට බලපා තිබෙන දැඩි නියං තත්වය හමුවේ ජල මූලාශ්‍ර සිඳී ගොස් තිබෙන නිසා අනුරාධපුරයේ ජනතාවගේ ජල අවශ්‍යතාව පවා ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන මේ අවස්ථාවේ පිට පළාත්වල සිට වන්දනා හා විනෝද චාරිකා සඳහා අනුරාධපුරයට පැමිණෙන අයගේ ජල අවශ්‍යතාව ඉටු කිරීම අසීරු වී ඇතැයි ලොකුබරණ මහතා පැවැසීය. මේ වන විට

අනුරාධපුරයේ ජනතාවට දෙනිකව පානීය ජලය සැපයීමද සිදු කරන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බව ප්‍රකාශ කළ
ලොකුබරණ මහතා අනුරාධපුරයේ ජනතාවට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල මූලාශ්‍ර වන තුරුවිල වැවේ, නුවරවැවේ සහ තිසාවැවේ ජල මට්ටම සිඝ්‍ර ලෙස පහත බැස තිබීම ඊට හේතු වී ඇතැයි කීය.
අනුරාධපුරයේ විශ්‍රාම ශාලා සංචාරක හෝටල් නිවාඩු නිකේතන ආදියට ද ජලය සැපයීම සිදු කරන්නේ සීමාවන්ට යටත්ව බව කී ඔහු සමහර ප්‍රදේශවලට මේ වන විට ජලය සපයන්නේ දවසක් හැර දවසක් බව ද පැවැසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලට අඛණ්ඩව ජලය සැපයීම ද මේවන විට ගැටලුවක් වී ඇතැයි කී
ලොකුබරණ මහතා කෙසේවෙතත් එම රෝහලට ජලය සැපයීම ප්‍රමුඛතාවකින් සිදු කෙරෙන බව සඳහන් කළේය. මේ අතර අනුරාධපුර දුම්රිය ස්ථානය සඳහා අඛණ්ඩව ජලය සැපයීමට ජල සම්පාදන හා ජම්ලපවාහන මණ්ඩලයට අපහසු වී තිබෙන බැවින් දුම්රිය මගීන්ට නවාතැන් ගැනීම සඳහා දුම්රිය ස්ථානයේ හා ඊට යාබද විශ්‍රාම ශාලාවේ කාමර කුලියට දීමට දැන් නතර කර ඇතැයි එම දුම්රිය ස්ථානයේ ප‍්‍රධාන නිලධාරියෙක් පැවැසීය. දුම්රිය ස්ථානයේ වැසිකිළි හා කැසිකිළි ද ජලය නොමැති අවස්ථාවල වසා දමන බව කී එම නිලධාරියා මේ නිසා දුම්රියේ ගමන් කිරීම සඳහා දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ද දැඩි අපහසුතාවයකට පත්වෙන බව පැවැසීය.
අද හෙට හෝ අනිද්දා වන විට අනුරාධපුරයට මහ වැසි නොලැබුණ හොත් පවතින තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙනු ඇතැයි කී ලොකුබරණ මහතා එබැවින් හැම ජල බිඳුවක්ම අරපරිස්සමෙන් පාවිච්චි කරන්නැයි ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය
(අතුල බණ්ඩාර)