වලපනේ තිබ්බටුගොඩ වටබේ ප්‍රදේශයේදී මීට මාස තුනකට පමණ පෙර සිය නිවසේ පාන්දර යාමේ නින්දේ පසු වෙමින් සිටි පනස්‌ දෙහැවිරිදි තිදරු පියකුගේ හිසට පොරවකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට  තිස්‌ අට හැවිරිදි පුද්ගලයකු බන්ධනාගොර ගත කොට තිබිණි.

මේ අතර ඝාතනයට ලක්‌ වූ තිදරු පියා ගේ ජංගම දුරකථනයේ දත්ත වාර්තා විශ්ලේෂණ ඔස්‌සේ  දිගින් දිගටම සිදු කළ දීර්ඝ විමර්ශන කටයුතුවලින් පසුව  මෙම ඝාතනයට සැකපිට මිය ගිය වූ තිදරු පියා ගේ අනියම් බිරිඳ බව කියන හතළිස්‌ අට හැවිරිදි එක්‌ දරු මවක්‌ද අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

පසුව එම කාන්තාව වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එස්‌. එල්. එම්. විඡේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ උඩපුස්‌සැල්ලාව මීපනාව මඩුගස්‌තැන්න පදිංචි හතළිස්‌ අට හැවිරිදි විඡේකෝන් මුදියන්සේලාගේ ප්‍රේමාවතී නැමති එක්‌ දරු මවකි.

වලපනේ තිබ්බටුගොඩ වටබේ ප්‍රදේශයේ ගම්මිරිස්‌ වෙළෙඳාමෙන් ජීවත් වන බව කියන මෙම ඝාතනයට ලක්‌ වූ පනස්‌ දෙහැවිරිදි වික්‍රමසිංහ විදාන

පතිරණලා ගේ ජයතිස්‌ස නමැති තිදරු පියා මීට මාස තුනකට පමණ පෙර සිය නිවසේ රාත්‍රියේ නින්දේ පසු වෙමින් සිටියදී නිවසේ තිබූ බව කියන පොරව රැගෙන තිදරු පියා ගේ හිස මතට පහර දී ඝාතනය සිදු කර ඇති බවට පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබිණි.

 පසුව මෙම ඝාතනයට යොදා ගත් බව කියන පොරව තිදරු පියා ගේ නිවස අසළ ගෙවත්තට විසි කර දමා තිබියදී පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම ඝාතනයට ලක්‌ වූ තිදරු පියා අනියම් ඇසුරක්‌ පැවැත්වූ බව කියන එක්‌ දරු මව අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශන කටයුතු වල දී මෙම ඝාතනයට ලක්‌ වූ බව කියන තිදරු පියා සිය බිරිඳ සමග කොළඹ ප්‍රදේශයට ගොස්‌ ඇති අතර එහි දී සිය බිරිඳ කොළඹ ප්‍රදේශයේ නතර කර ඉතා සූක්ෂම ලෙස නැවත සිය ගම් ප්‍රදේශයට පැමිණෙන අතරතුර සිය අනියම් බිරිඳ බව කියන හතළිස්‌ අට හැවිරිදි එක්‌ දරු මවට කථා කර සිය නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත.

ඒ අනුව මෙම එක්‌ දරු මව මෙම තිදරු පියා ගේ නිවසට පැමිණ ඇඳගෙන ආ සිය ඇඳුම් පැළඳුම් ගලවා තිදරු පියාගේ බිරිඳට අයත් ඇඳුම් පැළඳුම් ද ඇඳගෙන රාත්‍රියේ දෙදෙනාම එකම නිදි යහනේ

නින්දට ගොස්‌ ඇති අතර මෙසේ එකම නිදි යහනේ දෙදෙනා රාත්‍රිය ගත කරමින් සිටියදී පාන්දර යාමයේ අවදිවී ඇති මෙම එක්‌ දරු මව නිවසේ තිබූ පොරව රැගෙන නිදි යහනේ සිටි තිදරු පියාගේ හිසට පහරදී ඇති බවට විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්‌වූ තිදරු පියා අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය බව කියන මෙම එක්‌ දරු මවට ඇගේ සැමියාගෙන් වෙන් වී තමා සමග සිටීමට පැමිණෙන ලෙසට නිතර නිතර කරදර කර හිරිහැර කිරීම නිසා ඇය මෙම ඝාතනයට ලක්‌ වූ තිදරු පියා සමග දැඩි අමනාපයකින් ද පසු වී ඇති බවටද අනාවරණය වී ඇත.

මෙම එක්‌ දරු මව අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදුකර වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එම්. විඡේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

 වලපනේ දිසා මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දී වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එස්‌. එල්. එම්. විඡේසිංහ මහතා ඉදිරියේ ඇය සිය කැමැත්තෙන්ම ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක්‌ කිරීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

 මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් භාරයේ පසු වන සැකකරුද වලපනේ දිසා හා මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වලපනේ - අරුණ ඩයස්‌